Sunday, December 21, 2014

Tagged Under: , ,

History of maithripala sirisena

By: Prosperity Tech On: 1:04 AM

මෛත්‍රි ඉපදිච්ච ලක්ෂ උයන ගෙදර හොයා ගිය ගමන 

පරාක්‍රම සමුද්‍රය ඉස්මත්තෙන් ඉර බැස යන්නට ඔන්න මෙන්නය. දිය රැලි මතට වැටුණු හිරු රැස් දවස අවසන් කරන්නට වැඩි වේලාවක් නැති බවට වන සලකුණ තබා ඇති සැටියකි. පැරකුම් සමුදුරට බැස ගැමියන් සිත් සේ දිය නාමින් සිටින්නේ දවසේ වෙහෙස වැව් පතුලට දියකර හරිමිනි. මේ එක්දහස් නවසිය පනහ දශකයේ අග භාගයයි.ඩී.එස්. සේනානායකයන් බිහි කළ ගොවි ජනපද ව්‍යාපාරයේ හද්දා පිටිසර ගම් අස්සේ පිහිටි ගෙවල්වල කුප්පි ලාම්පු දැල්වෙන්නේ මේ වෙලාවටය. ඇතැම් ගෙවල්වල කුප්පි ලාම්පු දැල්වෙයි. තවත් ගෙවල්වල ලන්තෑරුම් දැල්වෙයි. ඒ දහවලට සමු දී රාත්‍රියට ඉඩ දෙන්නටය. ඩී.එස්.ගේ ගොවි හමුදාවේ සෙබළ - සෙබළියන් ලෙස පාන්දරින්ම ගොවි බිම් කරා ඇදුණු දෙමහල්ලන් ගෙට ගොඩවන්නේ මේ වෙලාවටය. ගොවි ජනපදයේ

හුන් ගැටයෙක් කොල්ලො කුරුට්ටෝ පිරිවරාගෙන පාරට බහින්නේ ඒ බව හොඳින් දැනගෙනය. ඔහු ඇඳගෙන ඉන්නේ කොට කලිසමකි. දෙපයට සෙරෙප්පුද නැත. ගැටයා පසු පස එන අනෙක් කොල්ලන්ද එයට වඩා වැඩි වෙනසක් නැත. වෙසක් පෝයට වැඩි දවසක් නැති නිසා හඳ පළුවක් එබී බලන්නේ කොලු රෑනට පාර කියන්නටය.
ගමේ ගෙයක් ඉදිරිපස ඇති කඩුල්ල ළඟ පිරිස නැවැතුණු විට 'නැන්දේ, නැන්දේ' කියා ගැටයා කෑ ගැසුවේය. ඒ හඬ ඇසුණු ගෙදර ඇඹේණියගේ මුවින් ඉබේම පිටවූයේ 'ඔන්න මෛත්‍රිපාල පොල්තෙල් සම්මාදමේ ඇවිත්' යන වදන්ය. එයට පිළිතුරු දෙමින් ගෙහිමියා කීවේ 'ඔන්න ඔය පොල් තෙල් ටිකක් දීලා දාපන් උන් හොඳ වැඩක්නෙ කරන්නේ' කියාය. වෙසක් පෝය ළංවෙද්දී ගමේ ගෙවල්වලට මෙය අමුත්තක් නොවීය. ගෙවල්වල අය පුදුම වූයේ 'නැන්දේ, නැන්දේ' කියන වදන් නොඇසී වෙසක් පෝයක් ගෙවී ගියහොත්ය. එදා වෙසක් පෝය ළං වන විට කොල්ලෝ - කුරුට්ටන් පිරිවරාගෙන ගමේ ගෙයක් ගෙයක් පාසා පොල්තෙල් සම්මාදමේ ගිය ගැටයා මෛත්‍රිපාලය. අද ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේනය. මෛත්‍රිපාල මහත්තයා එදා ඉස්කෝලෙ යන දරුවෙක් විදියට යාළුවො එක්ක ගමපුරා ඇවිදලා එකතුකර ගත්ත පොල්තෙල්වලින් මේ පන්සල පුරාම පහන් දල්වලා තියෙනවා. වෙසක් දවසට පන්සලම එළිය වුණා කියලයි ලොකු හාමුදුරුවො මට කියලා තියෙන්නේ' එසේ කියන්නේ ඇතුමල්පිටිය, ශ්‍රී ශාක්‍යසිංහාරාමයේ විහාරාධිපති ගල්ලෑල්ලේ අරියවංශ හිමියන්ය.
මෛත්‍රිපාල මහත්තයගෙ අම්මා - තාත්තා ඉන්න කාලෙ ඒ දෙන්නත් මේ පන්සලට එනවා. පෝයට සිල් ගන්නවා. මට මතකයි අපේ ලොකු හාමුදුරුවො කියනවා මෛත්‍රි මෙහෙ දහම් පාසලටත් ඇවිත් තියෙනවා කියලා. මෛත්‍රි මුලින්ම වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෙලා ආවෙ අපේ පන්සලට. ඒ කාලෙ අපේ පන්සලේ නේත්‍රා තියන පින්කමක් තිබුණා. නියෝජ්‍ය ඇමැති වෙලා ඇවිත් ඒ පින්කමට සම්බන්ධ වුණා. මෛත්‍රි මහත්තයලගෙ අම්ම මිය ගිහින් අවුරුද්දක් පිරෙන කොට පවුලෙ සහෝදර සහෝදරියො එකතු වෙලා පන්සලට ධර්ම ශාලාවක් හදලා දුන්නා. ඒක තට්ටු දෙකක ගොඩනැඟිල්ලක්. යට තට්ටුව විතරයි වැඩ ඉවර කර ගන්න පුළුවන් වුණේ. ධර්ම ශාලාව විවෘත කරන දවසේ උත්සවය වෙලාවෙ මෛත්‍රිපාල මහත්තයා, ඩඩ්ලි මහත්තයට කිව්වා ධර්ම ශාලාවේ ඉහළ තට්ටුවෙත් වැඩ ඉවර කරල දෙන්න කියලා' අරියවංශ හිමි පවසන අතීතය එලෙසය.
පොළොන්නරුව නගරයේ සිට හතමුණු පාර දිගේ පැමිණි විටය ඇතුමල්පිටිය හන්දිය හමුවන්නේ. ඒ හන්දියෙන් දකුණට හැරී තවත් දුර එන විට ශ්‍රී ශාක්‍යසිංහාරාමය මුණගැහෙයි. ඒ පාර දිගේම තවත් දුර ගිය විට 'ලක්‍ෂ උයන' හමුවෙයි. ලක්‍ෂ උයන මෛත්‍රිපාලගේ උපන් ගමයි. ශාක්‍යසිංහාරාමයේ සිට මෛත්‍රිපාලගේ මහගෙදරට යන අතරමඟ ලක්‍ෂ උයන කනිෂ්ඨ විද්‍යාලය තිබේ. ඒ මෛත්‍රි ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලය. අප ඒ පාසලට ගොඩවන්නට කලින් ගියේ මෛත්‍රිගේ මහ ගෙදරටය.
මහ ගෙදරට යන පාර අතරමඟදී බුලත් කහටින් දත් රතු කරගත් ගැමියෝ අප සමඟ සිනාසුණහ. කරුණාරත්න මාමා අපට හමුවූයේ මෛත්‍රිගේ මහ ගෙදරට යන පාර අසද්දීය. අපි පුංචි කාලෙ මොන්ටිසෝරි තිබුණෙ නැහැ. ඉස්සෙල්ලම ඇතුළු වුණේ බාලාංශ පන්තියට. මෛත්‍රි මල්ලි බාලාංශ පන්තියට එනකොට මම හිටියෙ දෙවැනි පන්තියේ. අපි අතරෙ වයස් පරතරයක් තිබුණට ඉස්කෝලෙ ආවෙ ගියෙ එකට. මමයි මෛත්‍රි මල්ලියි තව යාළුවො කීප දෙනෙක් හිටියා අපේ රංචුවේ. අපි පුංචි කාලෙ මේ පාරවල් මෙච්චර ලොකු නැහැ. අඩි පාරවල්, ගුරු පාරවල් තමයි තිබුණේ. ඒ පාරවල් දිගේ අපි ලක්‍ෂ උයන කනිෂ්ඨෙට ගියා. ඉස්කෝලෙ ඇරිලා ආපහු ගෙදර ආවා. පාර පෙන්නන්න යන ගමන් කරුණාරත්න මාමා පවසයි. 'කොල්ලොත් එක්ක ගහගන්න එහෙම ගියෙ නැද්ද ඔය කාලේ' මගේ ප්‍රශ්නයට කරුණාරත්න මාමා බුලත් කහට රැඳි දත් පෙන්නා සිනාසෙයි.
කොල්ලොත් එක්ක ගහගන්න ගියේ නම් නැහැ. හැබැයි ඉතින් ඉස්කෝලෙ ඇරිලා එන ගමන් අපි කට්ටිය වැව්වල පැනලා නානවා. සමහර දවස්වලට හවසටත් වැවට යනවා. ඇතුමල්පිටිය වැවට තමයි වැඩිපුරම යන්නේ. කුඹුක්ආරු ඇළටත් යනවා. පරාක්‍රම සමුද්‍රයෙන් එන උතුරු ඇළටත් යනවා. ඇතුමල්පිටිය වැව අයිනේ ලොකු කෝන් ගහක් තිබුණා. ඒ ගහේ ඉහළ තිබුණු අත්තක් වැව පැත්තට ගිහිනුයි තිබුණේ. මෛත්‍රි මල්ලි ගහට නැඟලා ඔය අත්ත දිගේ ගිහින් වැවට පනිනවා. කුඹුක්ආරු ඇළ ළඟත් ඔය වගේම දං ගහක් තිබුණා. ඒ ගහටත් නැඟලා ඇළට පනිනවා.
කරුණාරත්න මාමාගේ කතා අහගෙන අපි මෛත්‍රිපාලගේ මහ ගෙදරට පැමිණියෙමු. අප එහි යන විට ගෙදර වසා දමා තිබුණු අතර කිසිවෙක් එහි සිටියේ නැත. අහල පහළ උදවිය පැවැසූ ආකාරයට මෛත්‍රිගේ එක් සහෝදරයෙක් මේ නිවෙස පරිහරණය කරයි.
ඇල්බට් සිරිසේන සහ ඒ.ඩී. නන්දාවතී යුවළ මෛත්‍රි ඉපැදුණු පසු දෝතින් රැගෙන පැමිණ ඇත්තේ මේ නිවෙසටය. මෛත්‍රිගේ පියා ඇල්බට්, ඩී.එස්. සහ ඩඩ්ලි යන පිය පුතුන්ගේ ගොවි හමුදාවේ ගොවියකු වූ අතර ඒ.ඩී. නන්දාවතී ජේ‍යෂ්ඨ විභාගය සමත්ව ගුරු පත්වීමක් ලබා ලක්‍ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයේම සේවය කළාය. මෛත්‍රිගෙන් පසු පවුලට එක්වූ අනෙක් සොයුර සොයුරියන් එකොළොස් දෙනාම ඉපැදී ඇත්තේ මේ නිවෙසේ පදිංචිව සිටියදීය.
මෛත්‍රිපාල මහත්තයා මෙහෙ ඉන්න කාලෙ මෙන්න මේ ගහ යටට වෙලා කවි කියනවා. විරිදු කියනවා. හැන්දෑවට වට පිටාවේ ඉන්න කොල්ලොත් එකතු වෙනවා කවි, විරිදු අහන්න. අප පැමිණ සිටින බව දැන එතැනට පැමිණි අසල්වැසියෙක් පවසන්නේ නිවෙසේ එක් පසෙකට වන්නට ඇති සියඹලා ගසක් පෙන්වමිනි. ගෙවත්ත පුරා දක්නට ලැබෙන්නේ සියඹලා, පලු, බෙලි ආදී ගස්ය. ඒ ගස්වලට එහා පැත්තේ අල්ලපු වත්තේ පදිංචිව ඉන්නේ මල්ලිකා ජයමිණි මහත්මියය. මල්ලිකා ඒ මොහොතේ ගෙදර නොසිටියාය. ඇගේ සැමියාත් පුතාත් පමණි ගෙදර සිටියේ. ඔවුහු මහත් උනන්දුවෙන් අල්ලපු ගෙදර ඇත්තන් ගැන කතා කළහ.
එක්දහස් නවසිය අනූ තුනේ ජනවාරි දාහත්වැනිදා දහම් (මෛත්‍රිගේ පුතා) ඉපැදුණු දවසෙමයි මාත් ඉපදුණේ. අපේ අම්මයි දහම්ගෙ අම්මයි දෙන්නම පොළොන්නරුව ඉස්පිරිතාලෙ නැවැතිලා තියෙන්නෙ. ඒ කාලෙ ඉස්පිරිතාලෙ ලොකුවට පහසුකම් තිබිලා නැහැ. දහම් ලැබෙන්න අමාරු වෙන කොට දහම්ගෙ අම්මට ඇඳ දීලා අපේ අම්මා ඇඳෙන් බැහැලා. දහම් හම්බවෙලා ටික වේලාවකින් තමයි මාව ඉපදිලා තියෙන්නේ. මෛත්‍රිපාල මහත්තයා එදා දහම්ව බලන්න ඇවිත් තියෙනවා. එතකොට අපේ අම්මට මාව ලැබිලා ඉන්නවා දැකලා "මල්ලිකාටත් පුතෙක් ඉන්නේ" කියලා මගේ ඔළුව අතගාලා තියෙනවා. ඊට පස්සේ දහම්ට ගේන ගමන් උණුවතුර බෝතලයක්, මදුරු දැලක්, සබන් එහෙම මටත් ගෙනත් දීලා තියෙනවා. මල්ලිකාගේ පුතා අනුරුද්ධ නිශාන්ත කියන කතාවය ඒ. කරුණාරත්න මාමා සමඟ මෛත්‍රි ගිය ගුරුපාර දිගේ අපි ලක්‍ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයට ගියෙමු. පාසල් නිවාඩු කාලය බැවින් පාසල තිබුණේ වසා දමාය. ආර්. කළුපහන මහතා අපට හමුවූයේ පාසල අසලදීය.
අපේ ගමේ පුංචිම තැන ඉඳලා ඉහළට ගිය කෙනෙක් "අසීමිත බලයකට අභියෝග කරලා ආණ්ඩුවෙන් එළියට බැහැපු එක ගැන අපිට තියෙන්නෙ ලොකු අභිමානයක්. යූ.ඇන්.පී. එක, හෙළ උරුමය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොටස් එකතු කරගෙන යන මේ ගමන සාර්ථකයි. මෛත්‍රි කොහොමත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම වෙනස් කෙනෙක්. ඉස්කෝලෙ අනෙක් ළමයින්ට වඩා මෛත්‍රි කැපී පෙනුණා. ශිෂ්‍ය නායක සංසදයේ, බෞද්ධ සංගමයේ, සාහිත්‍ය සමිතියේ, විවාද කණ්ඩායමේ හැම එකකම තනතුරක් දැරුවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළාට පස්සෙ මෛත්‍රි මහත්තයා ගමට බැස්සා. ඒ කාලෙ ප්‍රගති ප්‍රජා මණ්ඩලය කියලා ගමේ තිබුණා සංවිධානයක්. ඒකෙ තනතුරකට පත්වෙලා සෑහෙන වැඩ කොටසක් කළා ගම වෙනුවෙන්. ලක්‍ෂ උයන කියන්නේ කැලෑවෙන් වටවුණු ඉතා දුෂ්කරතා තිබුණු තැනක්. මේක ගමක් කළේ මෛත්‍රි මහත්තයා. ගමේ පාරවල් හැදුවා. ගමට බස් එකක් දුන්නා. ලක්‍ෂ උයන දුම්රිය ස්ථානය හැදුවෙත් මෙතුමා මුල්වෙලා. ගමට විතරක් නෙවෙයි මුළු පොළොන්නරුවටම මෙතුමා විශාල සේවයක් කරලා තියෙනවා. අද ගම විතරක් නෙවෙයි මුළු පොළොන්නරුවම බලා ඉන්නෙ මෛත්‍රිපාල මහත්තයව ජනපති කරවන්න.
ලක්ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයෙන් නික්මී ඊළඟට අප පැමිණියේ තෝපාවැව විද්‍යාලයටය. තෝපාවැව විද්‍යාලයත් මෛත්‍රි ඉගෙනුම ලැබූ පාසලකි. මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ, විභාග මධ්‍යස්ථානයක් ලෙස තෝපාවැව විද්‍යාලය භාවිත කරන බැවින් එහි ඉදිරිපසින් ඡායාරූපයක් පමණක් ගෙන අපි එතැනින් නික්මුණෙමු.
රජ කාලෙන් පස්සෙ පුලතිසිපුරයෙන් රජෙක් බිහිවෙන්න යනවා. අපි බලාගෙන ඉන්නෙ මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වෙලා පොළොන්නරුවට එනකම්." ත්‍රිරෝද රථ රියැදුරෙක් එසේ කීවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයට යන පාර අසද්දීය. අපේ වාහනයේ "මව්බිම" කියා ගසා තිබෙනවා දැක ඔහු මහ හ¾ඩින් එසේ කීවේය. මෛත්‍රිපාල මහත්තයගෙ දරුවො අධ්‍යාපනය ලැබුවෙ අපේ ඉස්කෝලෙ. මෛත්‍රි ඒ කාලෙ ගුරු - දෙගුරු රැස්වීම්වලට එනවා. පාර්ලිමේන්තු ගියාමත් එතුමා ඒවට ආවා. පාසල් සංවර්ධන සමිති රැස්වීම්වලට ආවා. එතුමා හැමදාම හැසිරුණේ ඉස්කෝලෙ ළමයෙක්ගෙ තවත් එක තාත්ත කෙනෙක් විදියට විතරයි. කවදාවත් කිසිම දේකට බලපෑම් කරලා නැහැ."
අපට එසේ කීවේ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරියකි. ඇයත් පොළොන්නරුවේ මිනිස්සුත් බලා ඉන්නේ මෛත්‍රිපාල යළි රජරටට රජ කිරුළ රැගෙන එනතෙක්ය. හම්බන්තොට මිනිස්සු බලා ඉන්නවා ඇත්තේ මහින්ද තවදුරටත් සිහසුනේ තබාගන්නටය. තීන්දුව තිබෙන්නේ මුළු රටේම ජනතාව අතය. අපට ඇත්තේ ජනවාරි 8 වැනිදා දක්වා බලා ඉන්නටය.
හසිත කුරුප්පු
2014-12-21

0 comments:

Post a Comment