Monday, October 3, 2016

Tagged Under: ,

Nelu adikari - 15 years in music field

By: Prosperity Tech On: 2:05 AM

රැල්ලට දුවලා හති වැටෙන්න මං ආස නැහැ

නෙලූගේ සංගීත දිවියට වසර 15 ය
නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය 9 වැනිදා

සහස්‍රකය (2000) ආරම්භක සමයේදී වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසි නෙලූ අධිකාරි ඉතාම නිහඬව සාර්ථක ගමනක් සපැමිණි ගායිකාවක් හැටියට හැඳින්විය හැකිය. ගායන දිවියේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරමින් වෘත්තිය ගායන දිවියට වසර 15ක් පිරීම නිමිතිකොට ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ඇය මේ දිනවල සූදානම් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මේ මස 9 වැනිදා සවස 6.30 ට පැවැත්වීමට නියමිත එම ප්‍රසංගයේ තොරතුරු ගැනත් නෙලූ අධිකාරිගේ ගායන දිවිය ගැනත් කළ පිළිසඳරකි මේ.
 • ඔබ මේ පවත්වන්නට යන ප්‍රසංගය ගැන මුලින් කතා කළොත්...
මේ මස 9 වැනිදා බීඑම්අයිසීඑච් පරිශ්‍රයේදී ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් මගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට මා අදහස් කළා.

• ඇයි මෙවැනි ප්‍රසංගයක් ඔබ පවත්වන්න අදහස් කළේ...
මෙහෙමයි, මම වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වසරට අවුරුදු 15ක් වෙනවා. එම නිසා මම හිතුවා දැන් මම ගායන ක්ෂේත්‍රයට දායාද කරලා තිබෙන මගේම කියන නිර්මාණ එකතු කරලා ප්‍රසංගයක් පැවැත්වීමට මට දැන් ශක්තිය තියෙනවා කියලා. ඒ වගේම තවත් සුවිශේෂ වූ කරුණු කාරණා කිහිපයකුත් ඊට හේතු වුණා.


• මොනවද ඒ....
එදිනට මගේ හතරවැනි සංයුක්ත ගී තැටිය එළිදක්වන්න මා බලාපොරොත්තු වෙනවා පැරැණි සහ අලුත්ම ගීත කිහිපයකුත් සමඟ. ඒ වගේම මම සංගීත ගුරුවරියක ලෙසින් කටයුතු කරමින් ළමා පරපුරට දායාද කළ නිර්මාණ ඇතුළත් ‘ඉරහඳ තරු’ නමින් ළමා සංයුක්ත ගී තැටියක් සහ ළමා ගී පොතක් ද එදින එළිදැක්වීමට සූදානමින් සිටිනවා. එම ළමා සංයුක්ත තැටිය තුළින් මගේ ‘මියැසි අරණ’ කලා ආයතනයේ දරුවන්ගේ දස්කම් සහ මා ළමා ගීතය වෙනුවෙන් කළ නව ආරේ වෙනස්කම්ද දැකගැනීමට හැකි වේවි.

• කවුද ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ වර්ණවත් කරන පිරිස...
මට ගායන ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ඒමට මුල් වූ ආචාර්ය රෝහණ වීරසිංහයන් තමයි සංගීත නිර්මාණයෙන් දායක වෙන්නෙ. ඒ වගේම බන්දුල නානායක්කාරවසම් කථනයෙන් සහ නර්තනයෙන් චන්න විජේවර්ධනයන් දායක වෙනවා. යුග ගායනයෙන් එක්වනවා වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, කීර්ති පැස්කුවල්, අතුල අධිකාරි, අමල් පෙරේරා, දයාන් විතාරණ වැනි ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම ජනප්‍රිය පුද්ගලයන් රැසක්ම. ඒ වගේම මගේ සැමියා කපිල පූගලආරච්චිත් යුග ගායනයට මා සමඟ එකතු වෙනවා.

• ඔබගේ ගායන දිවියේ මූලාරම්භය ගැනත් අපි කතා කරමු....
මම දැනට මාලබේ පදිංචි වෙලා හිටියත් මගේ ගම මාරවිල, මහවැව. අපේ ගම් පළාත ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට විශාල ශිල්පීන් පිරිසක් දායාද කළ ප්‍රදේශයක්. මගේ අම්මත් සංගීත ගුරුවරියක්. තාත්තාගේ පරපුරම සංගීත ක්ෂේත්‍රයත් සමඟ ගැටෙමින් විශේෂ දස්කම් පෙන්වූ පිරිසක්. ඒ නිසා අපේ ගෙදර පුංචි කාලේ ඉඳලම තිබුණේ සංගීතය මුසු වෙච්ච වටපිටාවක්. ඒක තමයි මටත් මගේ අයියා අතුල අධිකාරිගෙත් සංගීත දිවියේ මූලික අඩිතාලම වුණේ. එහිදී තාත්තගෙන් ලැබුණු ආභාසය අපි දෙන්නට සංගීතයෙන් ඉදිරියට යෑමට විශාල ලෙස බලපෑවා. ඉන්පසු මා ඉගෙන ගත්තු මීගමුව නිවුස්ටඩ්, හලාවත ආනන්ද විද්‍යාලය හා මාරවිල බාලිකාවෙන් මගේ සංගීත දිවිය තවත් ඔපවත් වුණා. ඉන් පසුව මම 1991 වසරේ උසස් පෙළ කරලා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. විශ්ව විද්‍යාලයේදී මම ගායනය විෂයක් වශයෙන් හදාරමින් ලොකු පිම්මක් ඉදිරියට ආවා. පසුව මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස ජන ගී සහ උතුරු ඉන්දීය සංගීතය විෂයයන් ලෙසින් ඉගැන්වූවා.

• ඔබගේ වෘත්තිය ගායන දිවිය සනිටුහන් වන්නේ කෙසේ ද?
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මට අවස්ථාව ලැබුණා පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ‘සුදෝ සුදු’ ටෙලි නාට්‍යයට කවි ගී ගායනා මඟින් දායක වන්න. එය තමයි මගේ වෘත්තිය ගායනයේ ආරම්භය. ඉන් පසුව මහින්ද දිසානායක මහතා රචනා කළ, රෝහණ වීරසිංහ මහත්මයාගේ සංගීතයෙන් ඔපවත් වුණු ‘ඔබ අසා සිටීනම්’ ගීතය ගායනය තුළින් මම රසිකයන් අතරට ගියා. ඒ ගීතය තමයි රසිකයන් මාව හඳුනාගත් ගීතය. එතැන් පටන් ඉතින් මම මේ වන විට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස නිර්මාණ රාශියක් එළිදක්වලා තිබෙනවා.

• මෙතෙක් ආ ගමන්මඟ ගැන ආපසු හැරී බැලීමේදී මොකද හිතෙන්නෙ...
හරිම සතුටුයි. මොකද මම ගායන ක්ෂේත්‍රයට ඇවිත් ඉතාම නිහඬව සාර්ථක ගමනක් මේ වන විට පැමිණ ඇති බවක් මට හිතෙනවා ලැබෙන රසික ප්‍රතිචාරවලින්. මම කැමැති නැහැ රැල්ලට දුවලා හති දාලා වැටිලා මගේ ගමන නතර කරගන්න. ඒ වගේම මම ඉතාම ආස වෘත්තියක් තමයි ගුරු වෘත්තිය. සංගීත ගුරුවරියක ලෙසින් මම සෑම විටම අලුත් දේවල් කරන ගමන් ළමා පරපුර වෙනුවෙන් විශාල සේවයක් කරනවා. එසේම ළමයින් සමඟ ගැටීමෙන් විශාල ආත්ම තෘප්තියකුත් මා විඳිනවා. ඒ සියලු දේවල ප්‍රතිඵල තමයි ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ කියන්නේ.

• මේ ගමන එද්දී ඔබට ශක්තියක් වූ අය කවුද?
මම හිතන්නෙ සියලුම ප්‍රවීණයන්ගෙන් මට ලොකු සහායක් ලැබුණා. ඒ අතරින් ආචාර්ය රෝහණ වීරසිංහ, කුලරත්න ආරියවංශ, බන්දුල නානායක්කාරවසම් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්වරුන්ගෙන් විශාල ශක්තියක් මට ලැබුණා. එසේම මගේ අයියා අතුල අධිකාරිත් මට සෑම විටම සහයෝගය දැක්වූවා. මේ සියලු දෙනාගෙන්ම ලැබෙන ශක්තියත් සමඟ මගේ සැමියා කපිල පූගලආරච්චි තමයි මගේ දෙමාපියන්ගෙන් පස්සේ මගේ සාර්ථකත්වය පිටුපස සිටින යෝධ ශක්තිය. ඔහුත් සංගීත ක්ෂේත්‍රයේ ඔබ කවුරුත් දන්න හඳුනන දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. එම නිසා කපිල මගේ සෙවණැල්ල වගේ හිඳිමින් මට ලබා දෙන මඟපෙන්වීම, ශක්තිය, දයාව, කරුණාව සහ ආරක්ෂාව නොලැබෙන්න මට මෙතරම් ඉක්මනින් මෙවැනි සාර්ථක ගමනක් එන්න ලැබෙන්නේ නැහැ. කපිල තමයි මගේ සාර්ථකත්වයේ රහස. මගේ දුව සඳුනි සහ පුතා තරූන් ද මගේ නිර්මාණවලට ඔවුන්ට හැකි පමණ සහාය දෙනවා.

• ඔබගේ රසිකයන්ට අවසාන වශයෙන් කුමක් ද කියන්නෙ...
ඇත්තෙන්ම මම අද යම් තැනක සිටිනවානම් ඒ රසිකයන් මට දැක්වූ ප්‍රතිචාරවල ශක්තියත් ඊට විශාල දායකත්වයක් සපයනවා. මට දවසකට ලැබෙන දුරකථන ඇමතුම්, තැපැල්පත්වලින් තේරෙනවා මා වටා කෙතරම් විශාල රසිකයන් පිරිසක් සිටිනවාද කියා. මොකද මම ගායිකාවකට අමතරව සංගීත ගුරුවරියක ලෙසත් විශාල දෙයක් සංගීතයට කරලා තියෙනවා කියලා මට හැ‍ඟෙනවා. එම නිසා මම ඒ සියලු දෙනාටම කියනවා මේ මස 9 වැනිදා ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ හා සමවැදී වින්දනීය සැඳැවක් ගතකරන්න එක්වන්න කියා. රසිකයන් තමයි මගේ ශක්තිය. ඒ ලැබෙන ප්‍රතිචාර හරහා ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ රටේ වටේ රැගෙන යාමටත් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
Description: Musician, Local News, Nelu adikari - 15 years in music field

0 comments:

Post a Comment