Monday, February 23, 2015

Tagged Under: , ,

Nadeeka Gunasekara speaks

By: Prosperity Tech On: 7:03 PM

වෙළෙඳ සැලෙන් ගන්න ඇඳුම් මට හරි යන්නේ නැහැ

නදීකාගේ නිවෙසට ගිහින් එමු
ගසෙන් ගසට පැන පැන යන බට්ටිච්චාගේ නාදය පරිසරයට රැගෙන ආවේ සුන්දරත්වයකි. පෙදය ගස්ස ගස්සා අතු ඉති මත එහාටත් මෙහාටත් පනින බට්ටිච්චා මේ කෑ ගසන්නේ දං ගෙඩියක් හොට තබන්නට අවස්ථාව නොලද නිසා යැයි මසිතට පිවිසියේ සැනෙනි.
එහෙත් දං චූටිගේ නිවෙසේ මිදුලේ එවැනි දං ගසක් අපි නොදුටීමු. අප මිදුලට පිවිසෙන විටත් දං චූටි අප එන පෙර මඟ බලා සිටියේ අපගේ ප්‍රමාදයට හේතුව කුමක් දැයි විමසන්නට මෙනි.

“අව්ව බොහොම රස්නෙයි නේද?”
‘චංචල රේඛා’ චිත්‍රපටයේ රඟ පෑ චරිතය ඔස්සේ ‘දං චූටි’ නමින් කලා ලොවේ මෙන්ම රසික – රසිකාවන් අතර ජනප්‍රිය වූ චිත්‍රපට නිළි නදීකා ගුණසේකර විමසුවේ පා ගමනෙන් ඇවිද පැමිණි අප දෙස බලමිනි.
“එදා අපි දැක්ක දං චූටි අද කෝ ?”
මා විමසුවේ නදීකා ගුණසේකර නම් ඔබ හදවත බැඳගත් රංගන ශිල්පිනිය ගෙනි.
“මීට ටික කලකට ඉස්සර මාව දැක්ක නම් ඔයාලා ඔහොම කියන්නේ නැහැ. ඒ වනවිට මම මීට වඩා මහතයි. දැන් ටිකක් විතර මහත අඩුයි. මහත ගැන කතා කරන කොට නම් මම කොහොම මහත් වුණාද කියලා හිතා ගන්නවත් බැහැ.”
“තරුණ කාලයේ නිළියක් විදියට ඉන්න කාලයේ ශරීරය කෙට්ටුවට හැඩට තියා ගත්තත් දැන් එහෙම නොවෙන්න හේතු රැසක් බලපානවා. ඒ කාලයේ වගේ නොවෙයි දැන් මම අම්මා කෙනෙක්. ගෘහණියක්. මම උදෙන්ම නැඟිට්ට ගමන් කල්පනා කරන්නේ ඇවිදින්න යන එක ගැන නම් නොවෙයි. දුවගේ පාසල් ගමනට උවමනා කෑම හැදීම ගැනයි.
ඊට පස්සේ එයාව සූදානම් කරලා වාහනයෙන් පාසලට අරගෙන යන එක මගේ වගේම සුරේන්ගේත් රාජකාරිය වෙලා. මේ කටයුතු අවසාන කරලා ගෙදරට එන මම ඊළඟ කරන්නේ උදේට වගේම දවල්ට කෑම කන්න සූදානම් කිරීමයි.
මීළඟට ගෙවල් ශුද්ධ පවිත්‍ර කිරීමෙන් අනතුරුව සිටින කාලයේදි වුණත් නිවෙසේ මොකක් හෝ කටයුත්තක් කරන්න මගේ කාලය වැය වෙනවා. ඊට පස්සේ මගේ කාලය ගත වෙන්නේ දුවත් එක්ක හා සුරේන් එක්කම ඉන්නටයි. මේ අතර ඉඳලා හිටලා තෙරපි පන්තියකටත් සහභාගි වෙනවා.”
“ඒත් තවමත් මහත අඩුකර ගන්න නොහැකි වුණා.”
“තරුණ කාලයේ තරම් ඒ ගැන අවධානයක් යොමු නොවන වගයි ඇත්තම කතාව වෙන්නේ. කොහොම වුණත් මේ කටයුතු අතර මම වෙනුවෙන් පැයක කාලයක් වෙන්කර ගන්න අපහසු නැහැ. ඒත් ඒ කටයුත්ත එහෙම සිද්ධ වෙන්නේ නැහැ.
නමුත් එහෙම නොකරන එක නිදහසට කාරණයක් නොවෙයි කියලත් මම දන්නවා. සුරේන් ව්‍යායාම කරන යන්ත්‍ර නිවෙසටම ගෙනැත් තිබුණත් ඒ කටයුතු නොකෙරෙන්නේ මම පවුලේ කටයුතුවලට මුල්තැන දුන්නු නිසා.”
වගකීමක් ඇති ගෘහිණියකගේ ස්වරයෙන් නදීකා පවසන්නේ සිනහ පිරුණු මුවෙනි. ඈ අසලම දැවටෙන දියණිය තෙනුකි අම්මාගේ උකුළේ ඔළුව තබා ගත්තේ අපගේ කතාබහ අතරතුරය.
“තෙනුකි දූ ගොඩක් අම්මට ආදරෙයි වගේ?”
“මෙයා තමයි මගෙත්, සුරේන්ගෙත් පණ. අපිට ඉන්න එකම දරුවා තෙනුකි නිසා අපි දෙන්නගේම ආදරය හිමි වෙන්නේ දුවටයි. ඒ නිසා දුවගේ කටයුතු සියල්ල සොයලා බලන්න මා කාලය ගත කරනවා.
සුෂී කියන ජපන් කෑම වගේම පැස්ටා කන්නත් දූ බොහොම ආසයි. මොකද දූ මස්, මාළු කන්නේ නැහැ. දවසක් දුව පුංචි කාලයේ මම මස් කවන්න හදන විට එයා ඇහුවේ ඇයි සත්තුන්ගේ මස් කන්න බල කරන්නේ කියලා. ඉතිං මට කට උත්තර නැතිව ගියා. වැඩිපුර බත් කන්න කැමැති නැති නිසා දුව කැමැති දේ එයාට උයනවා.
දවල්ට මම දුවට බත් කවන එක අනිවාර්යයෙන්ම කරන දෙයක්. විශේෂයෙන්ම බටු, කැකිරි, පරිප්පු සමඟ මම එයාට කෑම කවනවා. ගොටුකොළ සම්බෝලයට තෙනූ බොහොම මනාපයි. සමහර දවසකට හවසට එළියෙන් එළවළු කෑම අරගෙන දෙන අවස්ථාත් තිබෙනවා.
අපි තුන්දෙනාම හවසට නිතරම එළියට යනවා. තෙනුකි නිදහසේ ඉන්න කැමැති දරුවෙක්. එහෙම කියලා එයා අකීකරු නැහැ. මට හරි තාත්තාට හරි කියලයි දුව ඕනෑම වැඩකට මුල පුරන්නේ. ඈ පාසල් යන්නේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලටයි. ගී ගයන්න, නටන්න, රඟපාන්න ඈ දක්ෂ වගේම ඉගෙන ගන්නත් ඒ වගේම දක්ෂයි.”
තෙනුකිගේ කටයුතුවලට එහෙම කැපවෙන නදීකා තමන්ගේ සැමියා සුරේන් හපුආරච්චිගේ කැමැත්ත ගැන හිතන්නෙත් ඒ වගේමයි.
“ඔහු කැමැති දේත් උයන්න ඔබ මහන්සි වෙනවා.”
ඔව්. ඔහුගේ කැමැත්ත වෙන්වෙලා තියෙන්නේ වෙනස්ම විදියටයි. සුරේන්ට උදේට බත් අනිවාර්යයෙන්ම උවමනායි. විශේෂයෙන්ම කරවල බැඳුමක් ඒ අතර තියෙනවා. කැකිරි, බටු වගේ ගමේ කෑම කන්න එයා කැමැතියි. සතියේ දවස් තුනක් උදේට මම කොළ කැඳ හදනවා.
ව්‍යාපාරික කටයුතුවලට සුරේන් පිටත් වුණාට පස්සේ නිවෙස ලස්සනට තියා ගන්නයි මගේ ඊළඟ වෑයම වන්නේ. අපට වැඩට කෙනෙක් ඇත්තේ නැති නිසා මුළු නිවෙසම අස්පස් කරන්නේ මම තමයි.”
ඈ ඇඳුම් මහන්න දක්ෂ කාන්තාවකි. ඈ ඒ ඇඳුම් මහන්න ඉගෙන ගත්තේ කුඩා කාලයේ පටන්මය. එසේ ඇතිවුණු පුරුද්ද නිසාම අද ද නදීකාට ඇඳුම් මහන කටයුත්ත විනෝදාංශයකි.
“ ඔබගේ ඇදුම් මහ ගන්නේ ඔබමද?”
“නිතරම මගේ ඇඳුම්, දුවගේ ඇඳුම් මහන්නෙත් මම තමයි. මට නම් වෙළෙඳ සැල්වලින් ගන්න ඇඳුම් හරි යන්නේ නැහැ. වැරැදිලාවත් ගෙනාවොත් ඒ ඇඳුම කපලා මට ඕන විදියට හදා ගන්නවා. මේ නිසා මමම මහගන්න එක වඩාත් හොඳයි. රංගන ශිල්පිනියන් වුණත් අපි සාමාන්‍ය මිනිස්සුනේ. ඒ සාමාන්‍ය ජීවිතයට මම කවදත් කැමැතියි.”
සුරේන් නිවෙසට පැමිණියේ මද වේලාවකට පසුවය. ඒ ව්‍යාපාර කටයුත්තකට සහභාගිවීමත් සමඟය.
“සුරේන්ට නදීකා සොඳුරු බිරියක් ද?”
“ඈ නිතරම වෙහෙස වෙන්නේ අපි ගැනයි. එවැනි බිරියක් ලැබීම මා ලැබූ භාග්‍යයක්. අපි අතර පරස්පර මත තිබුණත්, ඒවා ගැන වාද විවාද කර ගත්තත් ඒ වෙලාවට විතරයි. ටිකක් විතර එයා තරහා ගන්නවා. ඒත් ඒ නරක දෙයකට නොවෙයි. මගේ පුරුද්දක් තියෙනවා බඩුවක් ගත්තාට පස්සේ ඒ තැනම නොතියන. ඒකටයි ඈ නිතරම තරහා ගන්නේ. මම කැමැති මොන කෑම කිව්වත් කිසිම කන්කෙඳිරිගෑමකින් තොරවම හදලා දෙන්නත් ඈ අමතක කරන්නේ නැහැ.”
මේ විදියට ගෙවුණු සොඳුරු කතාබහ අවසාන කළයුතු මොහොත පැමිණිණි. ඒ වනවිටත් හෝරා කිහිපයක් ගෙවී ගොස් තිබුනු බැවිනි. දියණිය තෙනුකි අම්මාගේ උකුළේ සුව නින්දේය. දෙඅතට ගත් සුරේන් තෙනුකි දුව රැගෙන ගියේ නිදන කාමරයේ තබන්නටය.

0 comments:

Post a Comment