සමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?
සිරි සමන්තභද්‍ර නම් මාර්ග ඵල ලත් භික්ෂුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි විසින් සිය 40වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන ලද දාන සාදය ගැන දැන් කතාබහ කෙරෙමින් තිබේ.එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි.
මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම භික්ෂුව වෙතින් පමණක් නොව මෑත කාලයේ මතු වූ අසපුවාසී භික්ෂු පරපුරෙන් ම ප්‍රකාශයට පත් වූ ලක්ෂණයක සංකේතාත්මක ප්‍රකාශනයකි.
ඒ වනාහි සුඛෝපභෝගී, අධි වියදම්කාරී, සෝබනකාර ජීවන පැවැත්මකි. එය මුල් බුදු සමයෙන් හඳුන්වා දෙන ලද හා සම්ප්‍රදායිකව මේ රටේ භික්ෂූන් හා බෞද්ධ සැදැහැවතුන් විසින් පරමාදර්ශී ලෙස අනුගමනය කරන ලද අල්පේච්ඡ දිවි පැවැත්මේ ප්‍රතිපාර්ශ්වයයි.
විවෘත ආර්ථිකයත් සමග පන්සල ද ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන්නට පටන් ගත් අතර අවසන් නො කරන විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති පන්සල්වල ප්‍රධාන ලක්ෂණයක් විය. ඒ වෙනුවෙන් අරමුදල් සම්මාදම් කිරීම භික්ෂූන්ගේ ප්‍රධාන ව්‍යාපාරය විය. ඒ අනුව ලංකාවේ බොහෝ පන්සල් සදාකාලික ඉදිකිරීම් වැඩබිම් බවට පත් වී තිබේ. භික්ෂූන් යනු කූට සම්මාදම්කාරයන් පිරිසක් බවට පත් වී තිබේ.
මෙම බෞද්ධ ඉදිකිරීම් ප්‍රවණතාවේ අනෙක් ලක්ෂණය වූයේ උසස් කලාත්මක රසඥතාවෙන් තොර වීමයි. මෑත කාලීන බෞද්ධ ගෘහ නිර්මානයන් අතිශය රළු පරළු ඒවා බව සරළ අධ්‍යයනයකින් වටහා ගත හැකි ය.
සාමාන්‍ය පන්සල්වල ආගමික අභිචාර පැවැත්වීම උපාසිකා උපාසක පිරිසට කයට දුක් දෙන කාර්යයක් වී තිබේ. මේවායේ බණ මඩුවල ලී දඬු ගොඩගහලා ය. වැසිකිලි සේදීමක් ඇත්තේ ම නැත. වැලිමලු මඩ කඩිති ය. ඒ වෙනුවට යම් පිළිවෙලකට අභිචාර පැවැත්විය හැකි ස්ථාන ඔවුන්ට අවශ්‍ය විය.
මධ්‍යම පංතික කාන්තාවන් ඉලක්ක කරගෙන බිහි වූ අසපු විසින් මේ සමාජ අවශ්‍යතාව හොඳින් හඳුනා ගන්නා ලදී. අසපු විසින් කරන ලද මූලික ම කාර්යයක් වූයේ අරමුදල් සම්පාදනය හා ආයතන කළමනාකරණය විධිමත් කර ගැනීමයි. එසේම භික්ෂුව හැත්තෑව දශකයේ කිළිටි මුදලාලිගේ තත්වයේ සිට සුන්දර ධර්ම කථිකයකු දක්වා පරිණාමය විය. පන්සල සදාකාලික ඉදිකිරීම් වැඩබිමක තත්වයෙන් කලාත්මක, නිසංසල, නවීන ස්ථානයක් බවට සංවර්ධනය කරන ලදී. සම්ප්‍රදායික පන්සලෙන් වෙනස් වීම සඳහා එය අසපුව ලෙස නම් කෙරිණි.
ඒ හා සමාන්තරව උපාසිකා උපාසක ප්‍රජාව ද බණ මඩුවල දුෂ්කර ක්‍රියා කරන මැහැල්ලන්ගේ තත්වයේ සිට නව බෞද්ධ විලාසිනියකගේ තත්වයට උසස් කරන ලදී.
මේ වනාහි සමාජ අවශ්‍යතාවක් තේරුම් අරගෙන එයට ආමන්ත්‍රණය කිරීමක් මිස අමුතු අපරාධයක් නො වේ. කුමන හෝ ආකාරයකින් මුදල් ඉපයීම උත්කර්ෂයට නංවා තිබෙන වත්මන් සමාජයේ එසේ මුදල් උපයන මිනිසුන්ට සිය වරදකාරී හැඟීම් අකා මකා දමා ගැනීමටත්, සිය පාරිභෝජනවාදී දිවි පැවැත්ම හා අනුගත වන ආගමික අභිචාර ක්‍රියාවලියක් හා සම්බන්ධ වීමටත් අසපු විසින් අවස්ථාව උදා කර දී තිබේ.
පන්සල්වලට එන මිනිසුන්ගේ දත් ගැලවීමට විවිධ උපාය උප්පරවැට්ටි යොදමින් දවස ගෙවන මහණුන්ගෙන් යුත් පන්සල් වෙනුවට වෘත්තික මට්ටමේ ධර්ම සේවාවන් සපයන අසපු විසින් නිරූපණය කරන්නේ අන් කිසිවක් නොව පසුගිය කාලය තුළ සිදු වූ සමාජ පරිණාමයයි.
මේ වනාහි ධනකාමයයි.
(w3lanka.com)
0 comments:
Post a Comment