Sunday, January 4, 2015

Tagged Under: , ,

I canno't love another one - Nirosha Virajini

By: Prosperity Tech On: 9:13 PM

මට මාව නැතිකරගෙන තව කෙනෙකෙුට ආදරේ කරන්න බැහැ.

යම්කිසි වචනයකට අර්ථයක් සැපයෙන්නේ ඒ වචනය බාවිතයේදී වඩාත් වැදගත් කමක් උසුලන අවස්ථාවකය. 'වෙනස' අද වනවිට වඩාත් වැදගත් සහ වටිනා වචනයක් බවට පත්ව ඇත්තේ එය අද සමාජය තුළ වඩාත් වැදගත් අවශ්‍යතාවක් ව ඇති හෙයිනි. ප‍්‍රවීණ, දක්‍ෂ සහ ජනප‍්‍රිය සංගීත වේදිණීයක් වන නිරෝෂා විරාජිණී ද නව වසරේ වෙනසකට සූදානම් වන්නේ ඇගේ ජීවිතයට වටිනාකමක් එක්කරමිණී.
නිරෝෂා පාසල් කාලයේ සිටම දැඩි අධිෂ්ඨානශීලී බවින් යුත් විය. පිරිසක ට නොහැකි යැයි පවසනා දේ හෝ දුෂ්කරයැයි ඇයටම වැටහෙන යහපත් යමක් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක‍්‍රියාකර එය ජයග‍්‍රාහී තැනකට ඔසවා තබන්නට ඇයට හැකි ව තිබේ. මේ නිසාම ඇය සිය පාසලේ ගුරුරුන්ගේ ආදරය අවධානය දිනාගත් දීප්තිමත් සිසුවියක ද විය. පාසල්කාලයේ පමණක් නොව ඇය සිය ජීවිතයේ ද යම් යම් අවස්ථාවන් ජයග‍්‍රහනය කර ඇත්තේ කුඩා කල සිටම ඇය තුළ වර්ධනය වෙමින් තිබූ දැඩි ආත්ම ශක්තිය නිසාමය. නිරෝෂා සිය ජීවිතයේ වෙනස් තැන් සහ ඉදිරියේදී ඇගේ ජීවිතයේ සිදුවන්නට නියමිත වෙනස්කම් පිලිබඳව මිරර් ආර්ට්ස් සමග කතාබහකට එක්විය. මේ ඇය සමග කරන ලද සාකච්ජාවයි.

මට මාව නැතිකරගෙන තව කෙනෙකෙුට ආදරේ කරන්න බැහැ.නිරෝෂා ඔයාට මේ මොහොතෙ මේ රට පිළිබඳව දැනෙන්නෙ මොනවගේ හැගීමක්ද ?
මේ රට ඉතාම සුන්දර රටක් . ජීවත් වෙන්න සුදුසු රටක්. නමුත් මේ රටේ ජීවත්වෙන්න තියෙන පසුබිම මේ මොහොතෙ යම් කිසි දුරකට ප‍්‍රශ්නකාරී බවට පත්වෙලා තියෙනවා. මනුෂ්‍යයින් විසින්ම තමා ඒ බුක්තිවිඳීමේ අයිතිය නැති කරගෙන තයෙන්නෙ. ඒකට හේතුව සමස්ථ දේම දේශපාලනීකරණයට ලක්වෙලා තිබීමයි විශේෂයෙන් මා නියෝජනය කරන කලා ක්‍ෂෙත‍්‍රය දරුණු ලෙස දේශපාලනී කරනය වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා කලාව එසේ විය යුුතු නැති බව.
මේකට වග කියන්න ඕනෙ කව්ද?
මිනිස්සුම තමා වගකිවයුතු කාටවත් ඇගිල්ල දිගු කරන්න බැහැ අහවල් පුද්ගලයින් හෝ පුද්ගලයා නිසා කියලා. මමත් ඇතුළුව අපි හැමදෙනාම වගකිවයුතුයි කියලා මම හිතනවා. මොකද එතැනට පත්වෙනතුරු අපි නිහඩව ඉඩ දීලා තිබෙනවා. කලාව කියන්නේ මේ සියල්ලට ඉහළින් තිබෙන දෙයක් .කලාකරුවත් එහෙමයි
හුගක් අය ප‍්‍රකාශ කරන දෙයක් තමයි දේශපාලන මැදිහත්වීම තුළිින් කලාවට යම් සේවයක් සිදුවෙලා තිබෙනවා කියලා ඔබ හිතනවද දේශපාලනය තුළින් කලාවට යම් සෙතක් වෙලා තිබෙනවා කියලා ?
මම හිතන්නෙ නැහැ දේශපාලනය තුළින් කලාවට යහපතක් වෙලා තියෙනවා කියලා. සමහර අය ට කියන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් කලාව වෙනුවෙන් සිද්ධවෙලා තිබෙනවා කියලා. නමුත් මම විශ්වාස කරන්නෙ එහෙම යහපතක් වෙලා නැහැ කියලයි.

ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් කලාකරුවෙකුලෙස ඔයාගෙ අදහස මොකක්ද?
ඉතාම අන්තවාදී විදිහට මේ රටේ මාධ්‍ය විශේෂයෙන් විද්්‍යුත් මාධ්‍ය විසින් කලාකරුවන්ගෙ අයිතිය නැති කරලා තිබෙනවා. එකපැත්තකින් විද්්‍යුත් මාධ්‍ය තුළින් ප‍්‍රචාරය වන ගීතවලට නිසි වටිනාකමක් නැහැ . ඒ අයට කලාකරුවා යනු හුදු වෙළඳ භාන්ඩයක් පමණයි .නිසි ගෞරවයක් නැහැ. මම දන්නවා මම ඇතුලූ සීමිත කලාකරුවන් පිරිසක් ඉන්නවා තම වෘත්තීය තුළිින් ජීවත් වෙන්න අවශ්‍ය යහපත් ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නගාගත්. නමුත් හුගක් අය එහෙම නැහැ.
මට යමක් තිබෙන නිසා මට කට වහගෙන ඒ සම්බන්ධ කාරණා කතානොකර ඉන්න පුළුවන්. හැබයි මම කතාකරන්නෙ සමස්ථ කලාකරුවන් වෙනුවෙන් .ප‍්‍රවීණ, ආධුනික ,අලූත් කියන බේධයකින් තොරව මම මේ කතාකරන්නෙ. සියලූම කලාකරුවන්ට යම් කිසි වටිනාකමක් තිබිය යුතුයි .ඒ වටිනාකම දෙන්න ඕනෙ මේ සමාජය විසින් .ඒ වටිනාකම මුලින්ම නැති කරලා තිියෙන්නෙ මාධ්‍ය.
කලාකරුවන්ට සමාජය තුළ වටිනාකමක් තියෙනවා සහ ඒ වටිනා කම ලබාදෙනවා ?
ඔව්. නමුත් සමාජය විසින් දෙන ඒ වටිනාකම නැති කරලා තියෙන්නෙ මාධ්‍ය විසින්. මොකද කලාකරුවා කියන්නේ ජනතාව සතුටු කරන පුද්ගලයින්. කලාකරුවා කියන්නේ කසිිවකු දුකට පත්කරන කෙනෙක් නෙමෙයි. සාහිත්‍ය, ගීතය, සිනමාව, වේදිකාව, චිත‍්‍රය, නර්ථනය මේ සියල්ල තුළ ජනතාව ට මානසික සුවයක්, දැණුමක් ,රසයක්, වින්දනයක්, ආනන්දයක් ලැබෙනවා.
කලාකරුවෙකු තමන්ගෙ නිර්මාණ තුළින් ජනතාවගේ ආදරය ගෞරවය දිනාගන්නෙ විශාල කැපවීමක් කරලා. තමන් උපතින් ගෙනා නිසර්ග හැකියාව යම් යම් කැපවීම් හැදැරීම් තුළින් තමයි යම් තැනකට එන්නෙ. පුහුණුවකින් තොරව අද ඊයෙ ඇවිත් කලාකරුවෙකු වන්න බැහැ.
ඔබ කියනවා ඔබට යම් ස්ථාවරත්වයක් ගොඩනගාගන්න හැකියාව තිබුණ කියලා බොහෝ කලාකරුවන්ට ඒ පසුබිම තිබුනත් සමහර අය අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා මියැදෙනවා මේ සම්බන්ධයෙන් තරුණ කලාකාරිණියක ලෙස ඔයාගෙ අදහස මොකද්ද?
ඇත්තටම ඔව් . ප‍්‍රවීණ සමහර කලාකරුවන් අන්ත අසරණව දුක් විඳ කිසිවෙකුගෙ අවදානයට පාත‍්‍රනොවී මියයනවා. ඔවුන් වෙනවෙන් නිසි ඇගයීමක් පිළිසරණක් නැහැ.
ඔයා හිතන්නෙ ඒකට සමාජයේ වැරැුද්දක්ද?
සමාජයේ වරැද්දක් නෙමේ. සමාජයේ ,දේශපාලනය විසින් කළයුතු දේ කරලා නැති නිසයි එහෙම වෙන්නෙ. දේශපාලනය මේ කලාවට ඇතුළු වෙලා තිබෙන්නෙ වැරදි විදිහකට.
ඔයා කියන්නේ කලාකරුවාව කුමන හෝ දේශපාලනයක් තුළ රජයක් තුළ සුරක්‍ෂිත කළයුතු?
නැහැ .සුරක්‍ෂිත කළයුතු යැයි මා අදහස් කරන්නෙ නැහැ. නමුත් ලැබිය යුතු දේ ලැබිය යුතුයි .උදාහරණයක් විදිහට ගත්තහම ගීතයක අයිතිය පිළිබඳව ගන්න .නීති රීති හදලා තිබෙනවා. නමුත් එහි කර්තෘ භාගය අදාළ අයට ලබාදෙන්නෙ කව්ද? ගීතයක් හෝ සිනමා නිර්මාණයක් හෝ යම්කිසි නිර්මාණයක් නිෂ්පාදනය කරනකෙනා ඒවා විකිණීම තුළින් ලාභ උපයාගෙන ජීවත් වෙනවා. නමුත් ඊට දායක වන කලාකරුවාගේ තත්ත්වය මොකද්ද ? ඇයි ඔවුන්ට ජීවත්වෙන්න බැරි වෙලා තියෙන්නෙ?

ඇත්තටම මේකට අපිත් මේවට වගකියන්න ඕනෙ. මොකද නීති රීති කෙටුම්පත් කරලා තිබුනත් ඒවා සම්බන්ධව ප‍්‍රශ්න කරන්නෙ නැහැ. දේශපාලන වගකිවයුත්තන් මේ නීති රීති ක‍්‍රියාත්මක කරන්න බලපැම් කරන්නෙ නැහැ. මොකද ඔවුන් මේ සියලූ මාධ්‍ය තුළ තමන්ගෙ අවස්ථාව ගිලිහෙයි කියන කාරණාව සමග.
ගායක ගායිකාවන්ගෙ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න යම් යම් සංවිධාන බිහිවෙලා තිබෙනවා නේද?
සමිති සමාගම් සිය ගානක් බිිහිවෙලා තිබෙනවා තමයි. මමත් සමහර සමිති වල සාමාජිකාවක් වෙලා වැඩකරන්න උත්සාහ කරලා තිබෙනවා .නමුත් ඒ තුළ කාලය සහ ශ‍්‍රමය අපතේ ගිය අවස්ථා විතරයි තිබුනෙ .මොකද රුපියල් සියයක්වත් ප‍්‍රචාරය වන තමන්ගෙ ගීතයක් වෙනුවෙන් ලංංකාවෙ කිසිදු නාලිකාවක් ගෙවනවද කියන එක ප‍්‍රශ්නයක් .

සිරස මාධ්‍ය ටික කාලයක් කළා යම් තෝරාබේරාගත් අය වෙනුවෙන්. නමුත් දැන් ඒ දේවල් නැවතිලා තිබෙනවා. කාටවත් ඒවා කි‍්‍රයාත්මක කරන්න උවමනාවක් නැහැ. මොකද ඒ නීති ක‍්‍රියාත්මක කරන්න බල කෙරෙන ක‍්‍රමවේදයක් ,පරිපාලනයක් මේ රට තුළ නැහැ. පිටරටවල්වල කලාකරුවන් ජීවත්වෙන්නෙ ඒ අයිතිවාසිකම් තුළින්. ඒ අයට ලැබෙන වටිනාකම් අපමණයි. නිෂ්පාදකයා ,ආයෝජකයා කලාව විකුණා ජීවත්වනවානම් කලාව උරුම පුද්ගලයා ජීවත්වෙන්න ඕනෙ නැද්ද?
නිරෝෂා ඔයා ඔයාගෙ කලා ක්‍ෂෙත‍්‍රයට ඇවිත් අවුරුදු කීයක් ද දැන්?
මම 1993 අවේ දැන් අවුරුදු 22ක් වෙනවා.
ඔයා ට පෙර පරම්පරාව මේ ක‍්‍රමවේද සකස් කරලා නෑ කියලද කියන්නෙ තමන්ගෙන් පසු එන පරම්පරාව වෙතට?
නැහැ. ප‍්‍රවීණයෝ කිසිකෙනෙක් එවන් සුරක්‍ෂිිත පසුබිමක් ඇති කරලා තිබුනෙ නැහැ.
ප‍්‍රවීණයො විසින් හදලා නොතිබූ ඒ පාර තරුණ පරම්පරාවේ ඔබලාට කරන්න බැරිද ඔබෙන් පසු එන පරම්පරාව වෙනුවෙන්?
ඇත්තටම 'ඔස්කා' කියන සංවිධානයට මම සම්බන්ධවෙන්නේ එවන් පරමාර්ථයකින්. එය ජයන්ත ධර්මදාස මහතා ආරම්භ කරන්නෙත් මම ඇතුලූව අතුල , සමිතා සමග. මට ඕනෙ වුනේ මේ සියලූම කලාකරුවන් වෙනුවෙන් පොඩි මුදලක් හෝ ඔවුනට ලබාදීමටයි. ඒ අයට ඒක ප‍්‍රයෝජනවත් වන අවස්ථා එනවා යම් කිසිලොවක හදිසියේ රෝගාතුර වුනොත් බෙහෙත් ටික හෝ ගන්න.  ඕනෙම කෙනෙක් කැමතියි නේද?ජීවිතේ පහසුවෙන් ගත කරලා සතුටින් ඉඳල යන්න.
නමුත් ගායකයෙකුට ගීත කියාගන්න බැරි තරමට වයසට ගියහම, රංගන ශිල්පියෙකුට රගපාන්න බැහැ කියන තැනට පත්වුනහම වගේම ආර්ථික ශක්තියත් නැතිවුනොත් ඒ අය කොයිතරම් මානසිකව කඩන් වැටෙනවා ඇතිද?ගුවන් විදුලි නාලිකා රුපවාහිනී නාලිකා වල පැවැත්මට මේ කලාකරුවන් උපයෝගී වෙනවනම් කලාකරුවන් පිළිබඳව වගකීමක් පවතින නීතියක් අනුව ක‍්‍රියාකරන්න ඔවුන් සූදානම් නැත්තෙ ඇයි?නීතිය තියෙනවා නමුත් ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ. නීතිය ක‍්‍රියාත්මක කරවන්නෙ කව්ද? කව්රුත් නැහැ.

ඔයා සම්බන්ධ සමිති සමාගම් තුළින් මේ නීති ක‍්‍රියාත්මක කරන්න බලපැම් කරන්නෙ නැද්ද?
මේවා ගැන කතාකරනවා. අද කියනවා හෙට කියනවා .නමුත් තාම ක‍්‍රියාත්මක නැහැනෙ. අද බලය තියෙන දේශපාලනය තුළ විවිධ ක්‍ෂෙත‍්‍ර නියෝජනය වන කලාකරුවන් ශක‍්‍රීයව සම්බන්ධවෙලා තියෙනවා. මම දේශපාලනයට සම්බන්ධව යමක් කරන්න යනවනම් මම උත්සාහ ගන්නෙ පුළුවන් තරම් මගේ ක්‍ෂෙත‍්‍රයේ දේවල් අඩුපාඩු හදාගන්න. ඒ වෙනුවෙන් මම සටන් කරයි. මට ජීවත්වෙන්න වාතාවරණය ලැබිලා තියෙනවා මේ සමාජයතුළ. නමුත් මට එහෙමයි කියලා නිහඩව ඉන්න අවශ්‍යය නැහැ. මම තාම දේශපාලනයට සම්බන්ධ වෙලා මේ වෙනුවෙන් කතා කරලා නැහැ.

බලාපොරොාත්තුවක් තිියෙනවද දේශපාලනයට සම්බන්ධ වෙන්න?
මම දන්නෙ නැහැ මම තාම ඉන්නෙ වෙන්නෙ මොනවද කියලා බලාගෙන. හැබැයි මේ රටේ සිදුවෙන දේශපාලන දේවල් පිළිබඳ අප‍්‍රසන්න හැගීමක් මට තියෙනවා. මැති ඇමතිවරු රුපවාහිනී නාලිකා වල කතා කරනදේවල් දැක්කහම ,ඇහුවම හිතෙනවා මේකද මේ රටේ දේශපාලනය කියලා. මැරකම්, තර්ජන අමුතු මානසිකත්වයකින් යුත් ආවේගශීලී කොටසක් දකින්නේ. ජනතාවට කියන දේ සාමකාමීව කියන්න පුළුවන් ආවේගශීලී නොවී. රට වෙනුවෙන්ද ,ජනතාව වෙනුවෙන්ද මේ කතාකරන්නෙ කියලා ප‍්‍රශ්නයක් ඇතිවෙනවා  නිරායාශයෙන්ම. ඒ වගේම අපේ සමහර කලාකරුවනුත් ඒ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් මම බොහොම කනගාටු වෙනවා.

ලංකාවේ අතිශය සංකීර්ණ සමාජ පසුබිමකට අපිව තල්ලූ කරලා තිබෙන මේ කාලවකවානුවේ ඔයා හිතනවද ඔයාට පෙර පරම්පරාව පූර්වාදර්ශ සපයල තියෙනවා කියලා පසු පරම්පරාව ට කලාකරුවෙකු ගේ කාර්්‍යභාරය මොකද්ද කියලා ?
මෙහෙමයි මට මුණගැසුන පෙර පරම්පරාවේ සමාජ පිලිගැනීම් ඇති අපි ගරු කරන අය මාත් එක්ක කතාකරලා තියෙන සමහර කාරණා සම්බන්ධයෙන් ගත්තහම රටට ආදරෙයි, ගහකොළට, සතා සීපාවට ආදරෙයි, සොබාධහමට ආදරෙයි  කියපු අය. දුප්පත් මිනිහගෙකුගෙ දුක දැනෙනවා. කඳුල දැනෙනවා .බඩගින්න දැනෙනවා කියලා කතාකරපු කලාකාරයො ඉඳලා තියෙනවා. ඒ ගොල්ලො ඒ කතාකරපු දේවල් දැන් කතාකරනවද කියන එක මට ප‍්‍රශ්නයක්.
දැන් ඔවුන් හරියට සිම් කාර්ඞ් එකක් මොළයට ඇතුල් කරපු ප්‍රෝගැම් කරපු යාන්ත‍්‍රික අසංවේදී කොටසක් බවට පත් කරලා, පත්වෙලා. අස්්වභාවික මනුෂ්‍යයෙකු ලෙසට ගොඩ නගලා .මට එහෙම වෙන්න ඕනෙ නැහැ කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.

මේ සියලූ වෙනස්වීම් එක්ක ඔයාට ඔයාව දැනේනෙ කොහොමද ?
මගෙ ජීවිතයෙ තව තව දේවල් ඕනෙ කියලා හිතන වාර ප‍්‍රමාණ හරි අඩුයි. සමහරඅය හිතනවා ඇති මම ජීවත්වන විදිහත් එක්ක එහෙම කෙනෙක් කියලා. නමුත් මගේ ජීවිතයේ මේ මට ලැබිලා තියෙන දේවල් ඇති මැරෙනකම් සතුටින් ජීවත්වෙන්න. මම මේ කතාකරන්නෙ මුදල් ගැන නෙමේ. මම කලාව තුළින් දකින්න, අත්විඳින්න, මම විඳවපු දේවල්, විඳින දේවල් ඒ සියලූ දේවල්  තුළ මම යම් තැනකට පැමිණ තිබෙනවා කියලා මම හිතනවා. මීට වඩා දෙයක් ලැබුනත් ,අඩුවුනත් මේක තමා මගේ හැගීම.
ඔයා ජීවිතේ තාප්තිමත් ද ?
අනිවාර්්‍යයෙන්ම. ජීවිතේ තෘප්තිමත් වෙන්න බැරි එක තමයි හුග දෙනෙක් ට තියෙන ප‍්‍රශ්නෙ. මම ඉන් අදහස් කරන්නෙ ඒකාකාරී ලෙස ජීවත්වීම කියන කාරනේත් නෙමෙයි. උත්සාහයෙන් ලබාගත්දේ පිළිබඳව මම සතුටුවෙනවා. කුමන හෝ සමාජ ආකර්ශණයක් ලැබුනනම්, මගේ හැකියාවන්  ඒ දේවල් මට නිරායාශයෙන්ම ලැබුනා. මම කැපවීමෙන් නිදිමරාගෙන. කන්න බොන්න වෙලාවක් නැතිව. අසනීප හදාගෙන කැපකරපු ජීවිතේකුත් මට තියෙනවා. ඒ කැපකිරීම් කරලා ලබාගත්ත දේවලූත් තියෙනවා. බලාපොරොත්තු සියල්ලම නැතත් දහයෙන් අටක් ලැබුනනම් මම එයින් හොඳටම තෘප්තිමත්. නොලැබුන දේවල් සම්බන්ධව කනගාටු වෙන්නෙ නැහැ.
නොලැබුන යම් දේවල් ජීවිතේට අත්‍යාවශ්‍යම දේවල් කියලා හිකෙන්නෙ නැද්ද?
මම ජීවිතේ බලාපොරොත්තුව සිටි එක දෙයක් සම්බන්ධව මම හිතනවා. මම කැමැත්තෙන්, ආශාවෙන් හිටියා හොඳ අම්මා කෙනෙක් වෙන්න. මට තාම ඒ අවස්ථාව ලබාගන්න බැරිවුනා .නමුත් ඒක එහෙම නොවුනා කියලා ජීවතේ ඉවරයි කියලා මම හිතන්නෙ නැහැ. මම හිතනවා ඒක එහෙම වෙන්න ඇත්තෙ මගේ හොඳටයි කියලා.මම හෙට මැරුනත් මම මැරෙන්නෙ සමාජෙ කාවවත් දුකට පත් නොකර. මට සතුටින් මැරෙන්න පුළුවන්. දාලායන්න බැරි දේවල් මගේ ජීවතේ නැහැ.
ස්ත‍්‍රියක් ලෙස 'නිරෝෂා විරාජිනී' ගෙ ජීවිතය දෙස හැරිලා බලපුවහම ඔබට ඔබව දැනෙන්නෙ කොහොමද?
පුංචි කාලෙ ඉඳන් අද දක්වා කාලය ගත්තහම සිදුවුන වෙනස්කම් සහ මුහුන දීපු දේවල් ගත්තහම මගේ වයසට වඩා දැනෙන වෙනස්කම් සිද්ධවෙලා තියෙනවා ජීවිතේ .හැබැයි ඒ සියලූ වෙනස්කම් සිද්ධවෙලා තියෙන්නෙ සුබවාදී ආකාරයෙන් .මම වාසනාවන්ත වෙන්න ඇති දුක්විඳින්නැතුව ජීවත්වෙන්න ලැබීම සහ ලැබෙන එක. ඒ වගේම ගැහැනියක විදිහට මම ලබපු සමහර දේවල් කිසිඳු ගැහැනියකට අත් විඳින්න ලැබෙන්න එපා කියලයි මම ප‍්‍රාර්ථනා කරන්නෙ.

මම ගැහැනු දැරියක ලෙස ,ගැහැනු දරුවෙකුට දරන්න බැරි මට්ටමේ සමහර දේවල්වලට මට මුහුන දෙන්න සිදුවෙලා තිබෙනවා .ළමාකලෙ පහු කරලා ගැහැනියක බවට පත්වුනහම මම ඒ දේවල් දිහා උපේක්‍ෂාවෙන් බලන්න පුළුවන්වුනා.මට මේ වගේ සමාජයක, මේ වගේ රටක ඒ දේවල් ගැහැනු දරුවෙකුට සිද්ධවෙන්න එපා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. මොකද අද කාලෙ ළමයින් ගෙ ජීවිතේම කඩා වැටෙන්න පුළුවන්. අද බහුතරයක් වෙන්නෙ එහෙමයි.
එදා ඒ දේවල්වලට අනිවාර්යයෙන්ම මුහුන දිය යුතුව තිබුනා වහ බීලා මැරෙන්න බැරි තත්ත්වයට පත්වූ නිසා.   ඒ දේවල් වලට මුහුන දුන්නා .ඉතාම සීමිත කිහිප දෙනෙකු පමණක් එවැනි මානසික තත්ත්වයන් තුළින් පිටතට ඇවිත් නැගිටලා ජීවතේ දිහා බලන්න පුළුවන් කම ලබලා තිබෙන්නෙ. ඒ දේවල් එක්ක අද මේ දේවල් මොනවද කියන හැගීම ඇති වෙනවා.
ඔයා ඒ ප‍්‍රශ්නවලට මුහුන දීපු ආත්ම ශක්තිය කොහෙන්ද ලැබුනෙ?
මම හිතන්නෙ මගෙ පවුලෙන් සහ මම තනියම ප‍්‍රශ්න වලට මුහුන දීලා ගොඩ නැගුන ආත්ම ශක්තියක් එක්ක තමා.

ඔයා හිතුවක්කාරද ?
මම හිතනවා ඔව් කියලා. මගේ වෘත්තීය ජීවිතේ සම්බන්ධ ගමන පවා මම වෙනස් කරගත්තෙ මගේ හිතුවක්කාරකම සමගයි .මම සාර්ථක මනුස්සයෙක් බවට පත්වෙලා ඉන්නවනම් ඒ තත්ත්වය ට මූලික හේතුව වුනේ මගේ හිතුවක්කාරකම. මම ගෙදරින් කියන බොහෝ දේවල්වලට  එකගවුනේ නැහැ .මට හරි කියලා හිතුන දේ මම ක‍්‍රියාත්මක කළා .මම කාටවත් අවවාද කරන්නෙ නැහැ ඒ විදිහට ක‍්‍රියා කරන්න කියලා. නමුත් මට වැරදුනේ නැහැ  මම ගත්ත ඒ ස්වාධීන තීන්දු තීරණ වලින්.
ඔබ ගෙ කුඩා කාලෙ අරමුණ වෙන්නෙ මොකද්ද?
ගුරුවරියක් වෙන්න. පාසල් කාලේ ඉඳන්ම මම කැමැත්තෙන් හිටියා .මම හරි ආශයි මම දන්න දේ අනිත් අයට කියලා දෙන්න. මට ඒකට විශේෂ හේතුවකුත් තිබුණා. මහනුවර ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ සහ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ අධයාපනය හදාරන කාලයේ තුළ මගේ ගුරුවරුන්ගෙන් විශේෂ ආකර්ෂණයක් තිබ්බා .මට මම හැමදාම ඒ අයගෙ හොඳම ශිෂ්‍යාව, හොඳම ශිෂ්‍ය නායිකාව ,හොඳම ගෝලයෙක් වුනා.
ඒ සියලූ දේ සමග මම ආශාකළා ගුරුවරියක් වෙන්න. ගුරුවෘත්තිය කියන්නේ යහපත් සමාජයක් හදන්න දැණුම දෙන කෙනානෙ .අද අපි මේ වගේ තැන්වලට ආස්ථාන ගතවෙලා ඉන්නෙ ඒ මගපෙන්වීම් නිසානෙ. කෙහොමවුනත් ඒ අරමුණ පසෙකට වන්නේම මගේ අම්මාගේ උවමනාව මත. අම්මා තමා මාව ගායිකාවක් ලෙස ඉදිරියට යන්න අවශ්‍ය පසුබිම ගොඩ නගලා දුන්නෙ.
නිරෝෂා මුලින් ම අහන්න ඕනෙ ප‍්‍රශ්නයක් සාකච්ජාවේ අග්ගිස්සට ඇවිත් අහනවා .ඔයා කෙහොමද ගායිකාවක්ලෙස ගමන ආරම්භ කරන්නෙ ?
අපෙ අම්මා මාව ගුවන් විදුලියේ ළමා අංශයේ ගීත නාට්‍ය, කවි, ගී ගායනා වලට   සම්බන්ධ කරනවා අයැදුම් පතක් යොමු කිරීමෙන් මාව ඒ සඳහා තෝරාගත්තාට පසුව .ඔස්ටින් මුණසිංහ සර් තමයි එතැන ප‍්‍රධානියා. ළමයින් 60 කින් පමණ මාව ගී ගයන්නට තෝරගන්නවා. අනිත් ළමයි සමූහ ගායනා වලට තේරෙන්නෙ. ඉන්පසු කාලයක් ඒවයින් ඈත්ව අධ්‍යාපන කටයුතු කරන් ගිහින් සුපර් සන්ස් කියන බෑන්ඞ් එකත් එක්ක සම්බන්ධවෙනවා අපෙ මාමගෙ යාළුවෙක්ගෙ මාර්ගෙන්. ඒ බැන්ඞ් එකේ ගායිකාවක් අසනීප වීමෙන් ඇති වූ පුරප්පාඩුවක් පිරවීම සඳහා. එතැනින් ආරම්භ වූ ගී ගැයීම රූපවාහිනියෙ, ස්වාධීන රුපවාහිනියෙ වැඩ සටහන් වල ගී ගයන්න ආරාධනා ලැබුනා. මම හින්දී සහ දෙමළ ගීත තමා මුළින් ගායනා කළේ.

ඔයාගෙ පළවෙනි ගීතය මොකද්ද ?
'සිත හඩයි' ගීතයෙන් මම මගේම සිංදු කියන්න පටන් ගත්තෙ.

අපි ඉන්නෙ 2015. 2014 ගැන කියන්න.
2014 බොහොම සාර්ථක අවුරුද්දක් මගෙ ජීවිතේ. මම හුගක් වැඩ කරපු අවුරුද්දක්. මං කියන පුද්ගලයට ගායිකාවක් ලෙස තිබුණ ස්ථාවරත්වයට වඩා වැඩි ස්ථාවරත්වයක් ගොඩ නැගුනු අවුරුද්දක්. විවිධ අවස්ථාවන් ලැබුනා වෘත්තීය ජීවිතය තුළ .මම හිතන්නෙ ඒකෙ ප‍්‍රථිපල දකින් පුළුවන් වෙන්නෙ 2015දි.
2015 දි ලැබෙන ප‍්‍රථිපල මොනවද ?
ගොඩක් අයට ප‍්‍රශ්නයක් වෙලා තිබුනා ඇයි මම චිත‍්‍රපට ගී ගයන්නෙ නැත්තෙ කියලා. මම යම් තෝරාබේරාගැනීමක් කළා චිත‍්‍රපට ගී ගැයීමේදීත්. මම ප‍්‍රථමයෙන් ගීතයක් ගායනා කළේ 'රාජ්‍යසේවය පිණිසයි' චිත‍්‍රපටයේ 'සඳ තනියම' ගීතය. මොකක් හෝ වටිනාකමක් ඇති නිර්මාණ සඳහා තමා මට දායකත්වය ලබාදෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ. එහිදී මට සරසවි සම්මානය සහ ජනාධිපති සම්මානය ලැබෙනවා හොඳම ගායිකාවට. ඒ වසර 2000දි.

මම ඉන්පසු හිතුවෙ වටනාකම් සහිත රසයක් වින්දනයක් ලැබිය හැකි නිර්මාණ වලට දායක වෙන්නයි .මොකද චිත‍්‍රපට ගීතයක් ඉතා සරල ගීතයක් බවට පත්වෙනවට මම කැමතිවුනේ නැහැ. ඉන් අනතුරුව මම එච්. ඞී. පේ‍්‍රමරත්නගේ 'කිනිහිරියා මල්' චිත‍්‍රපටයට ගීත ගායනා කළා. ඒ ගීතයට මට ජනාධිපති සම්මානය ලැබෙනවා.ඒ වනවිට සරසවි සම්මාන උළෙල නවත්තලා තිබුනෙ.
2015 ජනවාරි සිට මම ගී ගයන ලද චිත‍්‍රපට හතරක් තිරගත වෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගෙ 'මහරජ ගැමුණු', සනත් ගුණතිලකගෙ 'සිනහව අතරින්', ජැක්සන් ඇන්තනීගේ 'ඇඞ්ඩ‍්‍රස් නැහැ'සහ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ 'පත්තිනි' කියන චිත‍්‍රපට හතරෙ මම ගීත ගායනා කළා.

'සිනහව අතරින්' ඔයාගෙ ජීවතේට සුවිශේෂ වෙන්නෙ කොහොමද?
'සිනහව අතරින් 'තමා මගේ ජීවිතේ ඊළග සිහිනය සැබැවෙන්නෙ. ඇත්තටම මම මේ වෙලාවේ සනත් ගුණතිලක මහත්මයට ස්තුතිවන්ත වෙනවා. ඔහු මාව විශ්වාසකළා කුමක් හෝ හේතුවකට. ගායිකාවක් ලෙස මාව හඳුනාගෙන සිටි සනත් ගුණතිලක මහතා මට ඔහුගෙ චිත‍්‍රපටයෙ සංගීත නිර්මාණ අධ්‍යක්‍ෂණ කටයුතු බාරදෙනු ලැබුවා .ඔහු අසීමිත ලෙස ආදරය කළ ගායිකාවක් බවට පත්වෙලා හිටියා මම. කෙසේවුනත් සිනහව අතරින් සඳහා මම සංගීත නිර්මාණ කටයුතු කරන්න බාරගත්තා. එහි එක් ගීතයක් රචනා කරන්නත් අවස්ථාවක් ලැබුනා. මම මගේ ජීවිතයේ ප‍්‍රථම වතාවට ගායිකාවකට එහායින් අඩියක් තිබ්බ අවස්ථාවක් ඒක.

සංගීත නිර්මාණ ශිල්පිනියකගේ කාර්්‍ය භාරය කොයි වගේද?
ඒ චිත‍්‍රපටය බෞද්ධ වට පිටාවක නිර්මාණය වූ චිත‍්‍රපටයක් .මම සංස්කරණය කරන ලද නිර්මණය නරඹනවිට මගේ මනසෙ නිර්මාණය වූදේවල් තිබුණා .මට බෞද්ධ ගාථාවක් යොදා ගැනීමට අවශ්‍ය වුනා. මට ඒ සඳහා පූජ්‍ය කඹුරු පිටියෙ වජිර හාමදුරුවො උදව් කළා. මම චිත‍්‍රපටය සඳහා මට කළ හැකි උපරිමය කළා කියලා මම හිතනවා.

අධ්‍යක්‍ෂවරයා තෘප්තිමත්ද ඔබේ සංගීත නිර්මාණ කරනය පිළිබඳව?
ඔව් .මම හිතනවා මම තෘප්තිමත් වනවාටත් වඩා ඔහු ඒ පිළිබඳව සැහීමකට පත්ව සිටිනවා කියලා .

මෙය අභියෝගයක් ද ?
මම එය අභියෝගයක් ලෙසයි සැළකුවේ. මට ඒ වෙලාවෙ වාදන ශිල්පියො කිහිප දෙනෙකේම උදව්කළා ඔයාට මේක කරන්න පුළුවන් කියලා. ඒ වගේම මම කතාකළ සමහර වාදක ශිල්පියො කුමන හෝ හේතුවක් පවසලා මග ඇරපු අවස්ථා තිබුනා. මට ඒක අලූත් දෙයක් නෙමේ .ආධුනික ගායිකාවක්ව ඉන්නද්දි ත් බැහැ කියපු අය හිටියා. ඒ කාලෙදි මගේ හිත රිදුනා. කාලයක් ගියහම ඒ බෑ කිව්ව අය ඉතා හිතවත් ලෙස මා එක්ක වැඩ කළා. ඔවුන්ගේ වැඩ වලට මාව සම්බන්ධකරගත්තා.
මම යම් නමක් ගොඩ නගා ගැනීමෙන් පසු ඒ අයගෙ අවශ්‍යතා මත ගී ගැයීමට මට ආරාධනා ලැබුනා. නමුත් දැන් එහෙම හිත රිදෙන ඒවා නැහැ. එහෙම වුනා කියලා තරහක්, වෛරයක් නැහැ. මොකද බැහැ කියන්න එයාට එයාගෙ අයිතිය තියෙනවා. මම වුනත් ආධුනික හැමෝ එක්කම සිංදු කියන්නෙ නැහැනෙ. මම බැහැ කියන කෙනාගෙ හිත රිදෙනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම එයා මේ රටේ ජනප‍්‍රිය ගායකයෙක් වෙන්නත් පුළුවන් .ඉතින් මම සංගීත අධ්‍යක්‍ෂණයේදී ආරාධනා කළ වාද්‍ය ශිල්පීන් මට බැහැ කියන්න ඇත්තේ ගැහැනියක් සමග කොහොමද සංගීත කටයුතු කරන්න කියලා වෙන්න ඇති.
ඉතිහාසයේ සුජාතා අත්තනායක මහත්මිය චිත‍්‍රපටයක සංගීත අධ්‍යක්‍ෂණය කළා. අපේ රටේ සංගීත ක්‍ෂෙත‍්‍රයේ කාන්තාවො සංගීත අධ්‍යක්‍ෂණ කටයතු කරන්නෙ නැහැනෙ .ගැහැනියක් එක්ක වැඩ කරන්න තියෙන අකමැතිකම නිසා වෙන්න ඇති ඒ අය මගඇරියෙ.
පිරිමින් විසින් වෘත්තීය ගැහැනියකව ප‍්‍රථික්ෂේප කිරීම ඔයාට දැනුනෙ කොහොමද?
ඇත්තටම අපේ සමාජයේ ගැහැනිය පසුගාමී මානසිකත්වයක සිටිනවා මේ පුරුෂ මූලික සමාජ රටාව ඇතුළෙ. එතෙන්දි පිරිමින්ට හිතන්න පොළමවලා තිබෙනවා ගැහැනියෙක් ට කරන්න සුදුසු නියමිත වැඩ පිළිවෙල මොකද්ද මේ සමාජ ක‍්‍රමය තුළ කියලා .එතෙන්දි ගැහැනියක් සංගීත නිර්මාණ අධ්‍යක්‍ෂණ ක‍්‍රියාවලියට දායක වනවිට මුහුන දෙන්න සිදුවන බාධක මෙන්ම අවහිරතා ද වැඩිවෙනවා. නමුත් එම දේවල්වට නොසෙල්වී දරාගෙන ඉදිරියට යන්න ආත්මශක්තිය තියෙන කෙනා තමයි ඉන් ජය ලබන්නෙ. මොකද ගැහැනුන්ට හැකියාවෙන් අඩුවක් තියෙනවා කියලා කියන්න බැහැනෙ.
නමුත් මේ දකුණු ආසියානු කලාපයේ ගැහැනිය ට සංස්කෘතික සමාජ වටපිටාවෙන් ලැබෙන ආගම, සාරධර්ම ,යුතුකම් ,වගකීම් සමග ලැබෙන තැනත් එක්ක තමයි ඇය පසුගාමී වන්නෙ. බොහෝ වෙලාවට ගැහැනිය සම්ප‍්‍රදායන් තුළ හිරවෙලා කසාද බැලා, ළමයි හදලා, උසමහත්වුනාට පස්සෙ පවුලෙ යුතුකම් වගකීම් ඉෂ්ට කරලා මැරිලා යනවා .ඒක තමයි ගැහැනියකගේ නේචර් එක.
ඉතින් මම හිතනවා සමාජ වටපිටාව තුළින් ලැබෙන දේත් එක්ක ගැහැනියට අවස්ථාව ලැබෙනවා අඩුයි කියලා. නමුත් අතීතයට සාපේක්‍ෂව වර්තමානය වනවිට එම තත්ත්වයන් යම් ප‍්‍රමාණයකට වෙනස් වෙමින් තිබෙනවා. මොකද අභියෝගවලට මුහුනදිය හැකි ආත්මශක්තීන්ගෙන් යුතු වූ පිරිස්වල වර්ධනයක් ඇතිවෙමින් තිබෙන නිසා.
එවන් සමාජ සංස්කෘතික පසුබිමක ඔයාට ලැබෙන මේ අවස්ථාව අභියෝගයක් ?
ඇත්තවශයෙන්ම ඔව්. එවන් තැනකට පත්වෙන්නනම් මට පිරිමියෙකු තරම් තද හිතක් ඇති කරගන්න අමාරුයි. නමුත් මම ගැහැනියක ලෙස ශක්තිමත්ව එම අවස්ථාව ලබාගනිමින් එය උපරීමයෙන් ඉටු කරනවා. අනිත් එක මට මා කරන ඕනෑම වැඩක් තුළ ස්ත‍්‍රී පුරුෂ බේධයකින් තොරව වැඩ කරන්න කැමතියි. මනුෂ්‍යයෙක් වශයෙන් පමණයි මා සිතන්නෙ. මට වඩා වැදගත්වන්නේ මිනිස්කම පමණයි .මොකද ඒ කරන කර්තව්‍ය මොකක් වුනත් ඒක අඩුපාඩුවක් වෙන්න බැහැනෙ. වගකීම පොදු මනුෂ්‍යා ඉටු කරන්නෙ එකම ආකාරයට නෙ.

නිරෝ්ෂා පෞද්ගලික ජීවිතයේ දි ඔයා කව්ද?
මම දෙමව්පියන්ට හොඳ දරුවෙක් ,සහෝදරියන්ට හොඳ අක්කා කෙනෙක් ,යාලූවන්ට හොඳ යාලූවෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක් .සමහරවිට සමීපයෙන්ම සිටින පවුලෙ අයට යාලූවන්ට මගේ කාර්්‍යබහුලත්වය මත යම් යම් අතපසුවීම් මග හැරීම් සිදුවෙන අවස්ථා තිබෙනවා. සමහරවිට ඒ අයට හිිතෙනවා ඇති මම ආත්මාර්ථකාමියි කියලා. මට එහෙම වෙන්නෙ මම කරන වෘත්තීයට මගේ තියෙන කැපවීම සහ කාර්්‍යබහුලත්වයත් එක්කයි. නමුත් මට අවස්ථාව ලැබෙන හැම මොහොතකම මම ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා.
ඒ වගේම මගේ රටට මම හරි ආදරෙයි .මම පරිසරයට ආදරෙයි .ගහ කොළ සතා සීපාවට මම හරි ආදරෙයි. මම හරි ආසයි පරිසරය එක්ක ජීවත්වෙන්න. නිදහසේ හුස්ම ගන්න. එහෙම නිදහසේ ජීවත්වෙන්න බැහැ කියලා දැණුනහම තමයි සමාජය ගැන කනගාටුවක් ඇතිවෙන්නෙ.
පේ‍්‍රමය තුළ ඔබ කව්ද ?
ඇත්තටම මම හොඳ ආදරවන්තියක් නෙමේ. මම ආදරේ ට දෙන ප‍්‍රමුඛත්වය හරි අඩුයි .මට හිතෙනවා මට නිදහසේ ඉන්න ඕනෙ කියලා. මම ආදරේට හරිම ආදරෙයි .ඉතාම කැමතියි .හැබැයි ඒ ආදරේම මගේ ජීවිතය තුළ නිදහස සීමාවෙනවනම් ,මාව හිරවෙනවා වගේ දැනෙනවනම්, හුස්ම ගන්න බැරි කරන තැනක්නම් මම එතැනින් ගැලවෙන්න තමයි උත්සාහ කරන්නෙ. මට නිදහස ඕනෙ. නිදහස නරකට ගන්න එක නෙමේ මම මේ කියන්නෙ.
ඔයාට ආදරේ කරන අයට ඔයා ආදරේ කරනවද ?
අනිවාර්්‍යයෙන්ම .ආදරය හරිම ආත්මාර්ථකාමීයිනේ. කමන්ගෙ ඵීතරයි. මට විතරයි කියන හැගීම ඒ තුළ නිරන්තරයෙන්ම තියෙනවා. මට කියන හැගීම තුළ ජීවත්වෙන් බැරි කෙනෙක් මම. ඉතින් නිදහසේ හුස්ම ගන්න ඉඩ තියෙන ආදරයක් ඇතුළෙ මට ජීවත්වෙන්න ආදරේ කරන්න පුළුවන්.
එහෙම පසුබිමක කෙහොමද විවාහයක් පවත්වගෙන යන්නෙ ?
ඒ වටිනාකම් තේරුම් ගත්ත කෙනෙකුට මා සමග ජීවත්වන්න පුළුවන්. මං කියන්නෙ මාව විතරක් තේරුම් ගන්න එකනෙමේ .දෙන්නම අනේේ‍යාන්ය වශයෙන් එකිනෙකා අවබෝධකොට ගැනීම ඉතා වැදගත්. සම්ප‍්‍රදායික ගති ඇති ගැහැනියක් බලාාපොරොත්තු වුනොත් මට ඉන්න බැහැ. ඒ නිසා තමා මගේ ජීවිතේ විවාහය කියන දේ සාර්ථක වෙලා නැත්තෙ.
අද වෙනකොට මට සම්ප‍්‍රදායික ගැහැනියක් වෙන්නට හැකිවී නැහැ  මේ සමජය තුළ. ඒකෙන් අදහස් වෙන්නේ කඩාගෙන බිඳගෙන සීමාවන් නැති ගැහැනියක් හෝ ගමනක් යන බව නෙමේ. මට මගේ ජීවිතේ සම්බන්ධ වගකීමක් තිබෙනවා, වටිනා කමක් තිබෙනවා. ඒ වටිනාකම් වලට අනෙකාත් වටිනාකම් ලබාදිය යුතුයි ,ගරු කළ යුතුයි. ආදරේ කරනවා කියලා ඕනෙ කෙනෙකුට කියන්න, පෙනී හිටින්න පුළුවන්. ඒත් ඒක ප‍්‍රායෝගික තලයට එනවිට එතැන නිර්මාණය වෙන්නෙ සමහරවිට නොගැලපීම්වෙන්න පුළුවන්.

ආදරේ නිදහසේ තියන්නෙ ඕනෙ. ඒ තාක් ඒක තියෙනවා. ලෝකෙ බොහෝ ශ්‍රේෂ්ඨ චරිත දිහා බලන්න ඒ හැමකෙනෙක්ම නිදහස් මතධාරීන්. නිර්මාණ කරුවන්. ඔවුන්ගේ ජීවිත නිදහස් ඒ නිසා ඔවුන් විශාල වැඩ කොටසක් මේ ලෝකය වෙනුවෙන් ඉතිරි කරලා ගිහින් තියෙන්නෙ. ඒ නිදහස හොඳ නිර්මාණකරුවෙකු, චින්තකයෙකු, දර්ශණවාදියෙකු ,විද්‍යාඥයෙකු ,බුදුවරයෙකු ආගම් ශාස්තෘන් කෙනෙකු, මිනිසෙකු ගොඩ නගන්න හේතුවක් වෙනවා. මට මාව නැතිකරගෙන තව කෙනෙකෙුට ආදරේ කරන්න බැහැ.
ආදරේ ඇතුළෙ ලිංගික ආකර්ශණයක් ඇතිවෙනවද?
ලිංගිකත්වය කියන්නෙ ආදරේ ඇතුලෙ එක් දෙයක් පමණයි නේද? එය ම නෙමේ නේ ආදරය කියන්නෙ. ආදරය විශාලයි .නමුත් ලිංගික ආකර්ශණයක් ඇතිවෙනවා .එය හේතුවක් වෙනවා නේද සබඳතාව වර්ධනය කරන්න. එය ස්වභාවයෙන්ම සිදුවන දෙයක් මිසක් බලහත්කාරයෙන් බලපැම්වලින් ඇතිවන දෙයක් නෙමේ.
ඔයා මේ වනවිට ආදරය කරනවද?
ඇත්තටම ආදරය කරන්නෙ නැහැ. මම හිතන්නෙ බැඳීමක් තියෙනවා. නමුත් මම සියයට සීයක් කරපු ආදරේද කියනඑක මටම ප‍්‍රශ්නයක්. ඒ බැඳීම අද වෙනකම් මට කරදරයක් වෙලා නැහැ. මගේ ජීවිතයට කරන කියන දේවල්වලට බාධාවක් වෙලා නැහැ .

සියලූ සාර්ථක දේවල් අස්සෙ අසාර්ථක වෙච්ච දේවලූත් තියෙනවා. ජීවිතේ මම විශ්වාසකරන දෙයක් තියෙනවා ඕනෙම කෙනෙක් මේ ලෝකෙට ආවට පස්සෙ තමන්ගෙ ජීවිතේ පිලිබඳ තීන්දු තීරණ ගන්න තමන්ට නිදහසක් අයිතියක් තියෙන්නෙ ඕනෙ. එතෙන්දි පවුල ,දරුවෝ, සමාජ බැඳීම් මේ සියල්ල දෙවෙනියි .හැබැයි ඒ ගන්න තීන්දු තීරණ තවත් කිසිවකුට පීඩනයක් හිංසනයක් විය යුතු නැහැ.

තම තමන්ව නිර්මාණය කරගන්නෙ ඒ පුද්ගලයා විසින්මයි.එහෙම ස්වාධීන චින්තනයකින් ජීවිත ගොඩ නගාගන්න අය හිතුවක්කාරයි කියලා හිතන විදිහට මම කැමති නැහැ. මොකද තමන්ගෙ ජීවිතය පිළිබඳව ස්වාධීනව හිතලා තීරණ ගන්න බැරි හුගක් අය අසාර්ථකයි ඒ ජීවිත ඒකාකාරියි වගේ.

ජීවිතේ මොනවද අලූත් බලාපොරොත්තු
මම හිතන්නෙ මගේ ජීවිතේ සියයට අනූ පහක් විතර මගේ බාලපොරොත්තු මම ඉෂ්ට කරගෙන තියෙන්නෙ. මම කැමතියි තව හොඳ නිර්මාණ කරන්න. මගෙ හඩින් මේ රටට ඉතිරි කරලා යන්න. අරගෙන යන්න නෙමේ දීලා යන්න. මම කැමතියි ඇත්තටම කොලිටීස් එක්ක ජීවත්වෙලා මැරිලා යන්න. දුෂ්ට දේවල් මගේ ජීවිතේ නැහැ. කුහකකම්,ඊර්ෂ්‍යාකම් නැහැ. තවකෙනෙක්ගේ සාර්ථකත්වය දෙස ඉතාම සුබවාදීව බලන්න මට හොඳට පුළුවන්.

මම කතෝලික ආගමේ කෙනෙක් .හැබැයි මට කෝවිලට යන්න ඕනෙ වුනොත්, පන්සලට යන්න ඕනෙ වුනොත් මම යනවා. මම හිරවෙලා නැහැ. ගායිකාවක් හැටියට හැම දෙවි කෙනෙකුටම මම ගීත ගායනා කරලා තියෙනවා. ඒ කිසිම ගීතයක් වෙුනවෙන් මම මුදල් අරගෙන නැහැ.මට යම් දෙයක් ලැබුනද මම ඒ දෙවල් පෙරළා මිනිස්සු වෙනුවෙන්ම දීලා තියෙනවා. මට හැමදේම මුදල් නෙමේ. මගේ මේ හැකියාව මට ලැබිලා තියෙන්නෙ මේ ස්වභාවධර්මයෙන් මම කරපු කියපු දේවල් එක්ක.

අපි ඔක්කොම අදහන්නෙ එකම දෙවි කෙනෙක් කියලයි මම හිතන්නෙ. අනෙක මම ඕනෙවට වඩා ආගමට ලොල් වෙච්ච කෙනෙක් නෙමේ. මට ඒ විශ්වාසය තියෙන්නෙ අල්පයයි .මට ආගම පිහිට වුන වෙලා තිබෙනවා. දෙවියන්ට විතරක් මම සමහර බිඳවැටීම් ගැන මම කතාකරලා තියෙනවා. මොකද මිනිසුන් සමග කතාකරලා ඒ අයට මාව තේරුම් ගන්න බැහැ කියලා හිතුන සමහර දේවල් මම මගේ ස්වභාවධර්මයේ ශක්තියට කියනවා. හැබැයි මම අඩාගෙන පන්සල් වල පල්ලි වලට ගිහිල්ලා නැහැ. මම හිතනවා මට මාව ශක්තිමත් කරගන්න ,දේවල්වලට මුහුන දෙන්න පුලූවන් ආත්ම ශක්තියක් මේ වෙනකොට වඩා හොඳින් ඇති කරගෙන තිබෙනවා කියලා .

විටින් විට මා නෙතට උනනා
 කඳුලූ කැටයක අරුත සෙව්වෙමි
ඇහි පියන් යට ඔබ සිටියමුත්
නොසිටි බව ඒ තුළිින් හැඳිිනෙමි


අරුත සොයනා ජීවිතය තුළ
බොහෝ තැන්වල ඔබ සිටියමුත්
අරුත සොයනා ජීවිතය තුළ
බොහෝ තැන්වල ඔබ සිටියමුත්
සුසුමකින් පමණද අවසනදි
මගේ දුක මා නිවා ගත්තෙ


සැබෑවන ඔබ නැති සිහින තුළ
බොහෝ තැන්වල ඔබ සෙවූමුත්
නෙතට නොපෙනේ දුරක සිටියද
සිතට පෙනෙනා තැනක සෙව්වෙමි
 පද රචනය , සංගීත නිර්මාණය සහ ගායනය -නිරෝෂා විරාජිණී

සංවාදය සහ සටහන - මනෝහාරී හේවාවසම්.
(mirroraarts.lk)

0 comments:

Post a Comment