Tuesday, October 21, 2014

Tagged Under: , ,

Tiger Temple Thailand

By: Prosperity Tech On: 6:35 PM

ව්‍යාඝ්‍රයන් 100ක් එක්ක මුවෝ - ගෝන්නු ළඟින් තියාගෙන බුදුන් වඳින තායිලන්ත පන්සල

බැංකොක් නගරයේ දැඩි මාර්ග තදබදය අඩුවන්නේ නගරයෙන් තරමක් දුරට ගිය පසුවය. සීමාව පසු කළ විට රියැදුරු ඇක්සලේටරයට තබන පාදයේ බර වැඩි වන්නේ නිතැතිනි. එතැන් පටන් වාහනයේ වේගය පැයට කිලෝමීටර 150ට වැඩි වෙයි. එය පැයට කිලෝමීටර 100ට වඩා අඩු වන්නේ නොමැති තරම්ය.“No Traffic Jam No Bangkok”
බැංකොක් නගරයේ රියැදුරන්ගේත් සංචාරක මඟ පෙන්වන්නන්ගේත් මුවෙහි නිතර රැඳී තිබෙන වදන් පෙළකි මේ. මාර්ග තදබදයක් නොමැතිව බැංකොක් කියා නගරයක් පැවැතිය නොහැකි බව එහි සරල තේරුමයි. අපි දැන් ඒ මාර්ග තදබදයෙන් පිටට පැමිණ ඇත්තෙමු. පැයට කි.මි. 150ක පමණ වේගයෙන් මේ යන්නේ තායිලන්තයේ බටහිර පැත්තටය.

සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් වන "ව්‍යාඝ්‍ර පන්සල" (Tiger Temple)  පිහිටා තිබෙන්නේ අප මේ ගමන් කරමින් සිටින බටහිර තායිලන්තයේය. එය පිහිටා තිබෙන "කාන්චනබුරි"  (Kanchanaburi)  නගරය තායිලන්තයත් - මියන්මාරයත් වෙන් කරන දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබේ. තායිලන්තයේ වැසියන් "කාන්චනබුරි" නගරයක් ලෙස හැඳින්වුවද ඇත්තටම එය විශාල ප්‍රදේශයකි. අපේ රටේ නම් පළාතක් හෝ ඊටත් වැඩිය විශාල භූමි ප්‍රදේශයකි. එහි ගහ-කොළ, වටපිටාව ලංකාවේ පාරිසරික තත්ත්වයන්ට බොහෝ සෙයින් සමානය. කාන්චනබුරි බලා යන අතරමඟදී ධාරානිපාත වර්ෂාවක්ද ඇද හැලෙන්නට වූ නමුත් වාහනයේ වේගය නම් එතරම් අඩු වූයේ නැත. වැස්ස කපාගෙන ඊගහක වේගයෙන් වාහනය ඉදිරියට ඇදෙද්දී සිතේ බයක් ඇති නූනාම නොවේ. ඒ ගැන වාහනයේ රියැදුරුගෙන් විමසූ විට බිය නොවන ලෙසත් මෙය සාමාන්‍ය දෙයක් බවත් කීවේය.
කාන්චනබුරි නගර මධ්‍යයට එන විට වැස්ස පායා තිබිණි. බැංකොක්වලින් පිටත් වී ඒ වන විට පැය හතරකට ආසන්න කාලයක් ගතවී තිබුණත් සාමාන්‍යයෙන් කාන්චනබුරි දක්වා පැමිණීමට ගතවන්නේ පැය දෙකක පමණ කාලයකි. අපට අමතර කාලයක් වැය වූයේ කාන්චනබුරි වෙත පැමිණීමට කලින් පාවෙන වෙළෙඳපොළට(Floating Market)  ගිය බැවිනි.


ව්‍යාඝ්‍ර පන්සල පිහිටා තිබෙන්නේ කාන්චනබුරි නගරයේ "සයියොක්" (Saiyok)  ප්‍රදේශයේය. ඒ සඳහා කාන්චනබුරි නගර මධ්‍යයේ සිට තවත් පැය භාගයක පමණ දුරක් යා යුතුය. සයියොක් බලා යන අතරමඟදී පාර දෙපසම වනාන්තර දක්නට ලැබෙයි. ඒවා අපේ රටේ මෙන් ගන වනාන්තර නොවේ. ගස්ද එතරම් උස නැත. අෑතින් කඳු පන්තිද ඉහළට එසවී අප එන මඟ දෙස බලා ඉන්නාක් වැනිය.
කඳු පන්ති අෑතින් බලා සිටිද්දි අපි ප්‍රධාන පාරෙන් දකුණට හරුණෙමු. ඒ ව්‍යාඝ්‍ර පන්සලට ඇතුළු වීමටය. ප්‍රධාන පාරෙන් ඇතුළුවෙන තැනම ව්‍යාඝ්‍රයකුගේ මුහුණක් නිර්මාණය කරමින් තිබේ. තවමත් එහි වැඩ සම්පූර්ණයෙන් නිම කර නැත. එහි වැඩ අවසන් වූ පසුව ව්‍යාඝ්‍රයකුගේ කට ඇතුළට යන්නාක් මෙන් පන්සලට ඇතුළු විය හැකිය.
"ටයිගර් ටෙම්පල්" යනුවෙන් ලෝකය පුරා ප්‍රචලිත වුවද මෙහි සෑබෑ නම වන්නේ "වට් පා ලුන්ග්තා බුවා යනසම්පානෝ"(Wat pa luangta Bua Yannasam pano) යන්නය. "තොන්ග් පා පුම්" (Thong Pa Phum)  ප්‍රදේශයේ ජීවත් වූ "පූජ්‍ය ප්‍රා අචාන් පූසිට් "(Phra Achan Phoosit)  ස්වාමීන්වහන්සේ 1985දී දැන් ව්‍යාඝ්‍ර පන්සල පිහිටා ඇති ප්‍රදේශයට වැඩම කළහ. ප්‍රදේශයේ ඇති වනාන්තර තුළ උන්වහන්සේ වසර ගණනාවක් භාවනා කරමින් සිටියහ. එසේ සිටින අතරය පන්සලක් සාදා ගැනීම සඳහා පරිත්‍යාගශීලී මහත්මයකු මේ සුවිසල් භූමිය උන්වහන්සේට පරිත්‍යාග කර ඇත්තේ.


වනගත අසපුවක් බවට මේ භූමිය "වට් පා ලුන්ග්තා බුවා යනසම්පානෝ" නමින් උන්වහන්සේ පත්කර ඇත්තේ 1994 දීය. ස්වාමීන්වහන්සේට භාවනා කිරීමට සුදුසු නිදහස් අසපුවකට අමතරව විවිධාකාරයේ වන සතුන්ට අභය ස්ථානයක් ලෙසට මෙය පත් කරන්නටද උන්වහන්සේ කටයුතු කළහ. කෙසේ නමුත් මෙම අභය ස්ථානය ව්‍යාඝ්‍රයන් ඉන්නා තැනක් බවට පත්වීමෙන් පසුව සහ එම ව්‍යාඝ්‍රයන් සමඟ එකට හිඳ ඡායාරූප ගැනීමට සතුන්ට කිරි පෙවීමට ආදී විවිධ ක්‍රියාකාරකම්වලට අවස්ථාව සලසා දීමෙන් පසුව, මෙය ලෝකය පුරා ප්‍රචලිත වන්නට වූයේ Tiger Temple  ලෙසටය.
මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමෙන් පසුව ව්‍යාඝ්‍ර පන්සලට ඇතුළු වූ විට දක්නට ලැබෙන්නේ තරමක කාෂ්ටක භූමියකි. එහි ගහකොළ ඇතත් යටි වගාව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ. මුවෝ, ගෝන්නු, උෟරෝ, කුරුල්ලෝ, කුළු මීමෝ ඒ බිමේ නිදහසේ සැරිසරති. කිසිදා සතෙක් මිනිසුන්ට පහර දෙන්නට නොඑති. ඒ මඟ පසුකර සෑහෙන දුරක් ගිය විට ව්‍යාඝ්‍රයන් වැතිර ඉන්න ස්ථානය හමු වෙයි.


1994 දී ආරම්භ කළ මෙම අසපුවට පළමු ව්‍යාඝ්‍ර පැටවු දෙදෙනා ගෙනත් දමනු ලැබ ඇත්තේ 1999 දීය. ඒ ගම්වාසීන් විසිනි. කෙසේ වෙතත් ඒ ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනාගෙන් එකකු වැඩි කලක් ජීවත් නොවී මිය ගොස් ඇත. ඉතිරි වූ පැටවා පන්සලේ ස්වාමීන් වහන්සේ ඇති දැඩිකරගෙන ඇත. පසුව දඩයක්කාරයන් අම්මාවරුන්ව මරා දැමූ පසු අතරමං වූ ව්‍යාඝ්‍ර පැටවුන් කිහිප දෙනකුව මේ අසපුවට රැගෙන විත් තිබේ. ඒ පැටවුන් ලොකු මහත් වී 2007 වර්ෂය වන විට මෙම අසපුව තුළ ව්‍යාඝ්‍ර පැටවුන් 21 දෙනකු උපත ලැබූ බව එහි සිට තොරතුරු සපයන පුද්ගලයෙක් අප සමඟ පැවැසීය. 2011 වර්ෂය වන විට ලොකු කුඩා ව්‍යාඝ්‍රයන් 90 දෙනකු දක්වා එම සංඛ්‍යාව වර්ධනය වී තිබේ. මෙහි ව්‍යාඝ්‍ර පැටවුන් බෝ කිරීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථක බව තොරතුරු ලබා දුන් පුද්ගලයා පැවැසීය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කෙළේ ඉන්දුනීසියානු සහ බෙංගාල ව්‍යාඝ්‍රයන් මෙහි සිටින බවත් ඔවුන් දෙමුහුන් කිරීම මඟින් නව පැටවුන් උපද්දා ගැනීමට හැකි වූ බවත්ය. එය ඉදිරියටත් කරන බවද ඔහු පැවැසීය.
ව්‍යාඝ්‍රයන් සමඟ එකට හිඳ ඡායාරූප ගත හැකි එක් ස්ථානයක් වන්නේ, ව්‍යාඝ්‍රයන් වැතිර ඉන්නා ස්ථානයය. අප එතැනට යන විට පොද වැස්සක් ඇද වැටෙමින් තිබිණි. එහෙත් ඒ විනාඩි කිහිපයකට පමණය. ඒ මොහොතේ එහි ලොකු කුඩා ව්‍යාඝ්‍රයෝ 18 දෙනෙක් වැතිර සිටිහය.


ව්‍යාඝ්‍රයන් ඉන්නා කොටසට සංචාරකයන් ඇතුළු කරගත්තේ කොන්දේසි කිහිපයකට යටත්වය. ඉන් පළමු වැන්න තද පැහැති ඇඳුම් ඇඳ එම කොටසට ඇතුළු වීම සපුරා තහනම් වීමය. කාන්තාවන්ට කොට කලිසම් සහ කෙටි සායවල් ඇඳ එම කොටසට ඇතුළු වන්නට දෙන්නේ නැත. එහි ඇති අනෙක් විශේෂ කොන්දේසියක් නම් සංචාරකයකුට තමන්ගේ කැමරාවෙන් එම කොටස තුළදී තමන්ට හෝ තමන් සමඟ යන මිතුරකු ලවා ඡායාරූප ගැනීමට නොහැකි වීමය. එය කරනු ලබන්නේ එහි සිටින කාර්යමණ්ඩලයේ කෙනකු විසිනි. සංචාරකයාගේ අතින් අල්ලා ගන්නා කාර්යමණ්ඩලයේ එක් අයෙක් කැමරාවද තමන් අතට ගෙන එක් එක් ව්‍යාඝ්‍රයන් ළඟින් සංචාරකයාව හිඳුවා ඡායාරූපය ගනිති. අවුරුදු 10, 12 වයසේ දැරියෝද එම කාර්යය කරති. ඔවුහු ව්‍යාඝ්‍රයන්ට ළං වන්නට කිසි විටක බිය නොවෙති. මාධ්‍ය ආයතනයකින් බව පවසා මාගේ රාජකාරි හැඳුනුම්පතද පෙන්වීමෙන් අනතුරුව ඡායාරූප කිහිපයක් ගැනීමට ඉතා කෙටි කාලයක් ඔවුහු ලබා දුන්හ.


පැය දෙකකට ආසන්න කාලයක් අප මෙම ස්ථානයේ රැඳී සිටියද මෙහි සිටි ව්‍යාඝ්‍රයන් 18 දෙනාගෙන් එකකු හෝ එම සම්පූර්ණ කාලය තුළම මොහොතකටවත් කකුල් හතරෙන් නැඟී සිටියේ නැත. උන් සිටියේ වැතිරගෙනමය. සමහරුන් සැක කරන්නේ ව්‍යාඝ්‍රයන්ට ඔෟෂධ එන්නත් කිරීම මෙයට හේතුව බවය.
ව්‍යාඝ්‍ර පන්සලේ තොරතුරු සපයන්නා පැවැසුවේ තමන් කිසිවිටෙක ව්‍යාඝ්‍රයන්ට ඔෟෂධ එන්නත් නොකරන බවය. දහවල් කාලයේදී ව්‍යාඝ්‍රයන්ගේ සාමාන්‍ය හැසිරීම මෙය බවත් අව්ව වැටී රස්නය පවතින වේලාවට වැතිර සිටීම ව්‍යාඝ්‍රයන්ගේ සාමාන්‍ය චර්යාව බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය. සෞම්‍ය දේශගුණයක් පවතින උදෑසනටත් හැන්දෑවටත් ව්‍යාඝ්‍රයන් වඩා ක්‍රියාකාරී බව ඔහු කියාගෙන ගියේය. අප එහි සිටියේ මධ්‍යහ්න ‍ෙදාළහත් සවස දෙකත් අතර කාලයේදීය. එදින පැවැතියේ වැසිබර කාලගුණයකි. වැඩි රස්නයක් තිබුණේ නැත. එහෙත් ව්‍යාඝ්‍රයන් නැඟිට්ටේ නම් නැත.


අපට තොරතුරු කී පුද්ගලයා පැවැසුවේ මේ දක්වා ව්‍යාඝ්‍ර ප්‍රහාර එකක් පමණක් සංචාරයකයකුට එරෙහිව එල්ල වී ඇති බවය. ලේ ඉවත් කර තම්බන ලද කුකුල් මස් ආහාරයට දීම ව්‍යාඝ්‍රයන් හීලෑ කර ගැනීමට උදව්වන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
කාන්චනබුරි අහස කළු කෙළේ තවත් වැස්සක පෙරනිමිති පළකරමිනි. ව්‍යාඝ්‍ර පන්සලට සමුදිය යුතු කාලයත් පැමිණ තිබේ. අෑතින් පේන කඳු පන්ති අප දෙසම බලා සිටියේ "ඇයි ආපහු යන්නේ" යැයි අසන්නාක් බඳුවය. ළඟම සිටි ව්‍යාඝ්‍රයා දිගු අෑනුමක් පිටකර මහීකාන්තාවගේ තුරුලේ හිස තබා ගත්තේය.
ව්‍යාඝ්‍ර පන්සල බලන්නට යන සොඳුරු සංචාරයට "සාවාරි ට්‍රැවල්ස් ශ්‍රී ලංකා" සමඟ ඔබටත් එක්විය හැකිය. තායිලන්තයට යෑමට සහ ඒමට ගුවන් ටිකට් පත්, වීසා, නවාතැන්, ආහාර සහ තායිලන්තයේදී ප්‍රවාහන කටයුතු ඔබට දැරිය හැකි මිලකට සංවිධානය කර දීමට ඔවුන් සූදානම්ය. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ගැළපෙන සංචාරක සේවා ලබා දීමටද ඔවුන් සැදී පැහැදී සිටී.

(mawbima.lk)

0 comments:

Post a Comment