Thursday, October 15, 2015

Tagged Under: ,

Things to know before marriage

By: Prosperity Tech On: 9:04 PM

මැරි කරන්න කලින් අදහස් උදහස් හරියටම දැනගනිමු

මහාචාර්ය දයා රෝහණ අතුකෝරල තිරසාර යුගදිවි ගමනකට ඔබේ පූර්ව සූදානම මැන බලන ජීවිත ප්‍රශ්න පත්තරයක් පසුගිය තරුණී පුවත්පතේ පල වුණා ඔබට මතක ඇති. මේ වන විට ඔබ දෙදෙනා ඊට පිළිතුරු සපයලත් ඇති. එසේ නම් මේ සමඟ පළවන පිළිතුරු සමඟ සසඳන්න... ඒ අනුව දෙදෙනාගේ අදහස් උදහස්වල ඇති පරස්පරතාවන් මොනවාදැයි කතිකාවට ලක් කරන්න... එය විවාහ ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන ප්‍රශ්න අභියෝග ගැටලු විසඳාගන්නට පුර්ව සූදානමක් වනු නිසැකය.


01. ඔබ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන්නේ විවාහ වීමේ අපේක්ෂාවෙන් නම් ඒ සඳහා පෙම්වතෙක්/පෙම්වතියක් තෝරා ගන්නේ කෙසේද?

බොහෝවිට පේ‍්‍රම සම්බන්ධයක ඇරඹුම කෙනකුගේ රූපයට, කටහඬට, නැතිනම් වෙනත් ගතිගුණයකට ඇතිවන ආකර්ෂණය නිසා විය හැකියි.
නමුත් බොහෝ කාලයක් විවාහය නමැති සම්බන්ධතාවය තුළ ජීවත් විය යුතු නිසා ඔබේ තෝරා ගැනීම කෙතෙක් දුරට ඒ සඳහා යෝග්‍ය දැයි ඔබ සිතා බැලිය යුතු වෙනවා.
ලාංකීය පවුල් සංස්ථාව තුළ ඥාති සබඳතාවයට ද හිමි වන්නේ වැදගත් ස්ථානයක්. මේ නිසා විවාහය තුළින් මුණ ගැසෙන ඥාති දෙපිරිසද ගැළපෙන්න ඕනෑ. ජාති, කුල, ආගම් භේද සමාජය අනුමත කළ ද නොකළ ද පසුකාලීනව ගැටලු ඇති කිරීමට හේතු විය හැකි නිසා පෙර තියා ඒවා හඳුනාගෙන පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇරැඹීමයි වඩා වැදගත් වෙන්නේ. එමනිසා දැක්මෙන් පමණක් නොව අධ්‍යයනයකින් පසුව තීරණය කළ හැකිනම් එය වඩා හොඳ තෝරා ගැනීමක් වේවි.
 02. ඔබ ඇසුරු කරන පෙම්වතා/පෙම්වතිය ඔබගෙන් දුරස්වන බව හැඟුණහොත්...?
දුරස් වීම විවිධ හේතු නිසා විය හැකියි. එහි පැතිකඩ දෙකක් තිබෙනවා. පළමුවැන්න යම් රාජකාරි කටයුත්තක් හෝ වෙනත් කාරණාවක් හේතුවෙන් සිදුවන තාවකාලික දුරස් වීමයි. නමුත් නව තාක්ෂණික දියුණුව සමඟ මේ දුරස්ථ බව අවමකර ගත හැකියි. නැතහොත් එය අතුරු ගැටලු ඇති කරන්න හේතු වෙනවා.
එම කාල සීමාව වෙනත් සම්බන්ධතාවයක්, මානසික රෝගයක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගන්නා වැනි කාලයක් ද විය හැකි නිසා සන්නිවේදනය මඟින් එවැනි තත්ත්වයන් මඟ හරවා ගැනීමට කටයුතු කරන්න. පහදා දෙන්න උත්සාහ කරන්න.
දෙවැනි කාරණය පේ‍්‍රම සම්බන්ධතාවයෙන් පලායෑමට දරණ ප්‍රයත්නයයි. එවැනි අවස්ථාවකදී ඔබ බුද්ධියට ඉඩදී කටයුතු කිරීම වඩා උචිතයි. අනාගතය ගැන සිතා එම දුරස්වීම තාවකාලික සිත් රිදීමක් මිස සදාකාලික පසුතැවීමක් බවට පත්වීමට ඉඩ නොතබා ශක්තිමත් සිතින් ඊට මුහුණ දෙන්න.
 03. ඔබ ඇසුරු කරමින් ඊට අමතරව වෙනත් සබඳතාවයක් ඇති බව දැනගන්න ලැබුණොත්...?
මෙවැනි අවස්ථාවක වඩා සැලකිල්ලෙන් එය පේ‍්‍රම සම්බන්ධතාවයක් ද මිත්‍ර සම්බන්ධතාවයක් ද යන්න පැහැදිලිව අවබෝධකර ගන්න ඕනෑ. පුද්ගල චරිත විවිධාකාර නිසා ඇතැම් අය වැඩි අන්තර් පුද්ගල සබඳතා පවත්වන අතර ඇතැම් අය නිහඬ හුදෙකලා බව පි‍්‍රය කරනවා.
මේ නිසා ඔබ එය කවරාකාරයේ සම්බන්ධයක් දැයි ප්‍රථමයෙන් හඳුනාගන්න. එය ද තවත් පේ‍්‍රම සම්බන්ධයක් ම නම් එවැනි වංචනික තැනැත්තකු හෝ තැනැත්තියක් හා විවාහ දිවියක් ගත කිරීම ඔබ ඔබටම සිදුකර ගන්නා අසාධාරණයක් බැවින් සාකච්ජා කොට තීරණයකට එළැඹීමට කටයුතු කළ යුතුයි. පුද්ගලයා වනාහි පුරුදු රාශියක එකතුවක් බැවින් එවැනි පුරුදු අත්හැරීම ද ලේසි පහසු කාර්යක් නොවේ.
රාග චරිතයකින් හෙබි එවැනි අය විවාහයෙන් පසුද අයථා සම්බන්ධතාවයන් පැවැත්වීමේ වැඩි ඉඩක් පවතී. එම නිසා මේ ඔබට ලැබුණු රතු එළිය, දිගු කාලීන විශාල පාඩුවක් වළක්වන කෙටිකාලීන සුළු පාඩුවක් සේ සිතන්න.
 04. ඔහු ඇය ඔබට පිටුපෑවොත්?
විරහ වේදනාව දෙපාර්ශවටම පොදු වුවද සීමාව ඉක්ම වූ පේ‍්‍රම සම්බන්ධතාවක් බිඳි යාමෙන් අසරණබාවයට පත්වන්නේ කාන්තාවන්. මේ නිසා විවාහයට ප්‍රථම කායික සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න.
බොහෝ විට තරුණියන් සිතන්නේ තම පෙම්වතාගේ අපේක්ෂාවන් ඉටු නොවුණහොත් පේ‍්‍රම සම්බන්ධය බිඳී යා හැකි බවයි. නමුත් වඩා වැඩි සම්භාවිතාවක් තිබෙන්නේ විවාහයට පෙර කායික සම්බන්ධතා පැවැත්වූ පේ‍්‍රම සම්බන්ධතා බිඳී යාමටයි.
මේ නිසා ඔබ මතු දා යහපත් බිරියක්, මවක් විය යුතුය යන අධිෂ්ඨානයේ හිඳ පේ‍්‍රම සම්බන්ධතාවය පැවැත්වීමට බුද්ධිමත් වන්න.
අනෙක් අතට දෙපාර්ශවයේම පිටුපා යන අයෙක් පසුපස ලුහුබැඳ නැවත මිත්‍රකර ගැනීම ඵලදායක දෙයක් නොවේ. එසේ ඇතිකර ගන්නා බැඳීම යළිත් බිඳී යා හැකි නිසා පෙර පැවසූ සේ මේ කෙටි කාලීන වේදනාව දිගු කාලීන වේදනාවට වඩා සිදුවුණු ආශිර්වාදයක් සේ දකින්න.
 05. ඔබේ පෙම්වතා/පෙම්වතියගේ මිතුරු ආශ්‍රය පිළිබඳ ඔබේ ආකල්පය කුමක්ද?
ප්‍රශ්න අංක 3 හිදී පැවසූ සේ අන්තර් පුද්ගල සබඳතා බහුල චරිත සේම නිහඬ බව පි‍්‍රයකරන ඇතුළාන්ත බුද්ධියෙන් යුතු පුද්ගලයන් ලෙසින් දෙපිරිසක් වෙයි. ඔබ දෙදෙනාම මින් එක් කණ්ඩායමකට අයත් නම් එය එතරම් ගැටලුවක් නොවිය හැකියි.
කෙසේ නමුත් මිතුරු ඇසුර අපේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්. එය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා සීමාවන් හැඳින දෙදෙනාගේම මිතුරු ඇසුර පවත්වා ගන්න. විවාහයෙන් පසු එම මිතුරු ආශ්‍රයට වඩා ඔබ දෙදෙනා අතර හොඳම මිත්‍රත්වය ගොඩනඟා ගෙන පෙර ඔබේ මිතුරන් දෙදෙනාගේම මිත්‍රයන් බවට පත් කරගන්න.
 06. ඔහුට/ඇයට නිතරම දුරකථන ඇමතුම් හෝ එස්. එම්. එස් ලැබේ නම් ඔබ ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද?
පවතින සන්නිවේදන ධාරාව සමඟ එවැනි දේ ඔබේ විවාහ දිවියට බාධාවක්කර නොගැනීමට දෙදෙනාම වග බලාගන්න. මෙහිදී වඩා වැදගත් වන්නේ ලැබෙන දුරකථන හෝ කෙටි පණිවුඩ නොව ඔබ එහිදී ක්‍රියා කරන ආකාරයයි. දෙදෙනා අතර විශ්වසනීය අවබෝධයක් ඇත්නම් එවැනි දේ ගැටලු බවට පත් නොවේ. අනවශ්‍ය ලෙස එවැනි දේ විපරම් කිරීම වෙනුවට ඔබේ සම්බන්ධතාවය ළෙන්ගතුව පවත්වා ගන්න. push out  සාධක අවමකර pull out සාධක වර්ධනය කරගන්න. එමඟින් වෙනත් බාහිර බලවේගයක් විසින් ඇති කළ හැකි ආකර්ෂණය අවම කරගත හැකියි.

07. ඔහු/ඇය ඔබගේ දුරකථනයට නිතරම ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඔබ ගන්නා පියවර කුමක්ද?
ඒ සඳහා හේතුවන කාරණාව පෙර තියා දැන කියා ගැනීමෙන් ඇතිවිය හැකි ගැටලු අවම කරගත හැකියි. විවිධ රාජකාරීමය ස්වභාවයන් ද එවැනි තත්ත්වයන්ට හේතුවන නිසා විශ්වාසය ගොඩනගා ගැනීමෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීම වඩා වැදගත් වේ.
හමුදාවේ උසස් නිලයක් දැරූ එක්තරා සැමියෙක් ඔහුගේ බිරියගෙන් ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇගේ දෝෂ දර්ශනයට ලක් වුණේ අසාධාරණ අයුරිනි. ඇයට ඔහු තේරුම් කිරීමට උත්සාහ කළද ඇය ඒ බව පිළිගැනීමට සූදානම් වුණේ නැහැ. විවාහය දික්කසාදයකට යෑමට ආසන්නම අවස්ථාවේදීයි මේ බිරිය යථා තත්ත්වය වටහා ගන්නේ. විවාහයට ප්‍රථම පුර්ව අවබෝධය ඇති කර ගැනීම වඩා වැදගත් වෙන්නේ මෙවැනි කාරණා නිසයි.
 08. ඔබේ පෙම්වතාට/පෙම්වතියට face book account  එකක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඔබේ ආකල්ප කුමක්ද?


අද face book account  එකක් නැති අයෙක් නැති තරම්. එමනිසා එවැනි දේ පාලනය කිරීමට තැත් කිරීම එතරම් යෝග්‍ය නැහැ.
 එදා විශාඛාවට විවාහ වන අවස්ථාවේ තම පියා පැවසූ සේ “ගෙයි ගිනි පිටට නොදෙන්න පිට ගිනි ඇතුළට නොගන්න” යන කියමන ඔබේ දිවියට ආදේශ කරගන්න. face book account එක අලුත් යමක් දකින්න විඳින්න ලැබෙන තැනක් මිස ඔබේ ජීවිතය බවට පත් කරගන්න එපා. අවශ්‍ය, අනවශ්‍ය සියල්ල ඊට එක් කිරීමෙන් ඔබේ විවාහ දිවියට බලපෑ හැකි අතුරු ගැටලු මතුවෙන්නට හැකියාව තිබේ. සැකය හෝ තහංචි මඟින් තවත් අයෙක් පාලනය කළ නොහැකි නිසා face book account එකක් තිබීම නොව එය භාවිතය ඔබේ සම්බන්ධතාවයේ විශ්වාසනීයත්වයට හානියක් නොවන සේ විය යුතුයි. එසේම වෙනත් බාහිර බලවේගයකට pull out එකක් ද නොවන පරිදි ඔබේ විවාහ දිවිය සෙනෙහස, ආදරය, ගෞරවය සුරැකි කැදැල්ලක් කරගන්න.
09. ඔහුගේ/ඇයගේ විලාසිතා සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
දෙදෙනාගේ විලාසිතා සම්බන්ධව පූර්ව දැනුවත් බවක් තිබීම ද ඉතා වැදගත් කරුණක්. එකම සංස්කෘතියකට අයත් දෙදෙනෙක් අතර ද විවිධ හේතු පාදක කොටගෙන ගැටුම් ඇතිවිය හැකි නිසා විලාසිතා පිළිබඳ ද විවාහයට ප්‍රථම එකඟත්වයක් ඇති කරගන්න.
10. ඔබේ පෙම්වතා මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නම් ඔබ ගන්නා පියවර කුමක්ද?
විවාහයට පෙර මත්ද්‍රව්‍ය භාවිත කළ අයෙක් එය දිගටම පවත්වාගෙන යෑමේ 99% ක ප්‍රවණතාවයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය මඟින් විවාහ දිවියට සිදුවෙන අයහපතක් මිස යහපතක් නම් නැහැ.
එක්තරා ප්‍රසිද්ධ බාලිකා විදුහලක ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් මත් කුඩු භාවිත කළ තරුණයකු හා විවාහ වුණේ පසුව ඔහු එය අත්හරිවී යන විශ්වාසය මතයි. නමුත් මත් කුඩු සමඟ මේ තරුණයා අද බන්ධනාගාර ගතවෙලා. මේ තරුණිය අද දරුවෙක් ද සමඟ ජීවිතේ අතරමං වෙලා තිබෙනවා. මේ නිසා විවාහයට පෙර පුර්ණ එකඟත්වයක් ඇතිකර ගැනීම වගේම එවැනි දෙයින් අත්මිදීමට විවාහ වීමට ප්‍රථම පියවර ගැනීමට කටයුතු කරන්න.
11. ඔහු/ඇය පමණ ඉක්මවා වියදම් කරන්නේ නම් ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?
වියදම ආදායමට සරිලන සේ විය යුතුයි. එසේ නොමැති වු විට බොහොමයක් ගැටලුවලට එය හේතු වෙන්න පුළුවන්. ඔහුට හෝ ඇයට ඒ පිළිබඳ අවබෝධයක් නොමැති නම් හෝ වියදම් පාලනය කළ නොහැකි නම් ඔබ වියදම් පිළිබඳ වගකීම ඉටු කරන්න. තමන්ට ලැබෙන මුදලෙන් කෙසේ හෝ කොටසක් ඉතුරු කරමින් පවුලේ අනාගතය උදෙසා කටයුතු කරන්න.
12. ඔබ දෙදෙනාට රෝගාබාධ පවතී නම් ඒ පිළිබඳ සාකච්ජා කොට තිබේද?
කෙටි කාලීන ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ පත්වෙන බොහෝ දෙනකුට මෙවැනි ප්‍රශ්න පැන නඟින්නේ පෙර සාකච්ජාකොට නොතිබුණ නිසයි. මානසික රෝග, සමාජ රෝග ද අද බහුල නිසා ඔබ දෙදෙනා ඔබට පවතින රෝගී තත්ත්ව පිළිබඳ තම අනාගත සහකරුවා/සහකාරිය සමඟ සාකච්ජා කිරීම අත්‍යවශ්‍යයි.
තැලසීමියා වැනි රෝගී තත්ත්වයන්ට හේතුවන ජානමය සාධක දෙදෙනාම සතු වුණොත්, උපදින දරුවා ද තැලසීමියා රෝගියකු බවට පත්වෙන නිසා පෙර තියා වළක්වා ගත හැකි එවැනි තත්ත්වයන් ගැන ඔබේ වැඩි අවධානය අත්‍යවශ්‍යය.
13. ඔබ දෙදෙනා ජාති/ආගම් දෙකකට අයත් වේ නම් අනාගතයේ දී එය කොයි ආකාරයෙන් විය යුතුදැයි ඒකමතිකභාවයකට පැමිණ තිබෙනවාද?
වත්මන් විවාහ වෙනස් ජාති ආගම්වලට අයත් පිරිස් සමඟ සිදුවීම දකින්නට ලැබෙනවා. කෙසේ නමුත් වෙනත් ජාති දෙකකට අයත් දෙදෙනකු විවාහ වීමෙන් ඉපදෙන දරුවන් ජානමය වශයෙන් වැඩි ශක්තිමත් බවකින් යුතුයි. නමුත් වෙනත් ජාති ආගම් අතර විවාහ තුළින් පසුකාලිනව නොගැලපීම් හේතුවෙන් ගැටලු මතුවිය හැකි අවස්ථා පිළිබඳ පුර්ව එකඟත්ත්වයකට පැමිණ කටයුතු කළ හැකි නම් ජාති ආගම් වෙනස සාර්ථක විවාහ දිවියකට බාධාවක් නොවෙයි.
14. දරුවන් හා පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ සාකච්ජා කොට තිබෙනවද?
විවාහයට ප්‍රථම අනිවාර්යයෙන්ම සාකච්ජා කොට සැලසුම් කළ යුතු කාරණාවක් වන්නේ දරුවන් ලැබීම හා එයට අදාළ කාල සීමාවන්ය. විවාහයෙන් පසුද දෙදෙනාගෙන් එක් අයෙක් හෝ දෙදෙනාම අධ්‍යාපන කටයුතුවල නිරතවීම, විදෙස් ගතවීම් ආදිය දරුවන් කෙරෙහි බලපෑ හැකි නිසා වඩා යහපත් අයුරින් අනාගතය සැලසුම් කිරීමට ඔබ දෙදෙනා මේ පිළිබඳ සාකච්ජා කොට තීරණය කිරීම වඩා යෝග්‍ය වේ.
15. දෙදෙනාගේ ආදායමින් ජීවත් විය හැකි ආකාරය පිළිබඳ ඔබගේ සැලසුම කුමක්ද?
16. ඔහුගේ/ඇයගේ ආදායම පිළිබඳ ඔබ දැනුවත්ද?
ආදායම් තත්ත්ව පිළිබඳ දෙදෙනාටම දළ අවබෝධයක් තිබීම අවශ්‍යයි. ආදායම් තත්ත්වයට ගැළපෙන සේ වියදම ද සැලසුම් විය යුතුයි. දෙදෙනාගේ පුර්ව අවබෝධය ඊට අත්‍යවශ්‍යයි. එක්තරා යුවළක් තමන්ගේ විවාහ උත්සවය සඳහා දෙදෙනාම තම තමන්ගේ වැටුපෙන් මාසිකව අඩුවන සේ බැංකු ණය ලබාගෙන තිබුණා. මේ දෙදෙනාම පෙර ඒ ගැන දැන නොසිටීම කෙළවර වුණේ දික්කසාදයෙන්. එවැනි දේ සිදුවීම වළක්වා ගැනීම සඳහා ආර්ථිකය සැලසුම් කිරීම, ආදායමට වඩා වියදම වැඩි වේ නම් නව ආදායම් උපදවන්නේ කෙසේ දැයි සාකච්ජා කිරීම තුළින් ඔබේ විවාහය වඩා අර්ථවත් කරගත හැකියි.
17. පොදු වැඩ හා ඔහුගේ ඇයගේ සමාජ සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ප්‍රශ්න අංක 3, 5 හි පිළිතුරු මීට අදාළය. විවාහයට පෙර ඔබේ පැවැති සමාජ සම්බන්ධතා විවාහයෙන් පසුව පැවැත්වීම ඔබ දෙදෙනාගේම එකඟතාව අනුව විය යුතු නිසා සාකච්ජා කිරීමෙන්
  අනතුරුව එවැනි තීරණ ගැනීමට උත්සුක වන්න.
18. විවාහයෙන් පසු ඔබේ පදිංචිය සැලසුම් කොට තිබෙනවාද?
විවාහයෙන් පසු ඔබ දෙදෙනාම කෙටි කාලයක් හෝ තනිව ජීවත් වීම වඩා වැදගත් වෙන්නේ අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර ගැනීමට ලැබෙන වඩා වටිනා අවස්ථාව එය නිසයි.
 දිස්නා කුමාරි අල්විස්
 ඡායාරූපය- ශාන් රඹුක්වැල්ල
 ඡායා - නිරූපණයක් පමණයි

tharunie.lk

0 comments:

Post a Comment