Sunday, May 3, 2015

Tagged Under:

Will Sri Lankan President dissolve parliament ?

By: Prosperity Tech On: 8:55 PM

පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවයි ද?

මැතිවරණ ක්‍රමය වෙනස් කරන නීති සම්පාදනයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්නට ඉඩ තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මීළඟ මහ මැතිවරණය ද බොහෝ දුරට වර්තමාන මැතිවරණ ක්‍රම‍ය යටතේ ම පැවැත්වීමට ඉඩ තිබේ.

එය අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නො වේ.
එහෙත්, විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂවාදී කඩාකප්පල්කාරී බලවේගය සමග කුමන හෝ සම්මුතියකට පැමිණීම පහසු නැති බව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් පෙන්වා දෙන ලදී. කලක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් ගුණවර්ධනගේ හැසිරීම මෙයට කදිම නිදසුනකි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඔහුට අවශ්‍ය වුණේ ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවීමට අවශ්‍ය බලය ලබා දෙන්නටයි. ඔහුගේ චර්යාව තේරුම් ගත හැකි එක ම පදනම කඩාකප්පල්කාරිත්වයයි.

මහින්ද රාජපක්ෂ කල්ලියේ බලපෑම හමුවේ ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල් ප්‍රේම ජයන්ත වැනි අයගේ හැසිරීම ද තේරුම් ගැනීම තරමක් දුෂ්කර ය. ඔවුන් කෙතරම් දුරට ජනාධිපති මෛත්‍රීපාල සමග එකට සිටිනවා ද යන්න ද අපැහැදිලි ය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඔවුන් සංශෝධන ගෙනාවේ ජනාධිපතිවරයාගේ උවමනාවට ද, නැතිනම් ජනාධිපතිවරයාට ඔවුන් සම්බන්ධයෙන් පූර්ණ පාලනයක් නැති නිසා ද යන්න අපැහැදිලි ය.

මෙම තත්වය හමුවේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත් වූ තත්වය ම අත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. සංශෝධනය විකෘති වී අනාගතයට තවත් ප්‍රශ්න රැසක් නිර්මානය කරන සංශෝධනයක් බවට පත් වීමට ඉඩ තිබේ.

එසේම, රාජපක්ෂ කල්ලියේ උපායමාර්ගය වී තිබෙන අරාජිකත්වයක් නිර්මානය කිරීමේ උවමනාවට ද ඉඩ දිය යුතු නැත.

එබැවින් අලුත් ජනවරමක් වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම යුක්තියුක්ත ක්‍රියාවකි.

ශ්‍රීලනිපය දෙකට කැඩීම අනිවාර්ය තත්වයකි. තමන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීම වළක්වා ගැනීම සඳහා රාජපක්ෂ කල්ලිය බලය වෙනුවෙන් උපරිම උත්සාහය දරනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සමග සිටින ඇතැම් බලවේග පවා නැවත මහින්ද රාජපක්ෂ පසුපස යන්නට ඉඩ තිබේ. එවැනි පසුබිමක් තුළ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයට අත් වන ඉරණම ගැටලු සහගත ය. කෙසේ වෙතත්, රාජපක්ෂ කල්ලිය සමග වැඩ කිරීමට වඩා ජනාධිපතිවරයාට පහසු වන්නේ එජාපය සමග වැඩ කිරීමයි.

එහෙත්, ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය හා එජාපය අතර මැතිවරණ සම්මුතියක් නිර්මානය වුවහොත්, මහින්ද කල්ලිය නිතැතින් ම දෙවන බලවේගය බවට පත් වන්නට ඉඩ තිබේ.

කුමන තත්වයක් යටතේ වුව ද, අලුත් ජනවරමක් වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය ය.

මහ මැතිවරණයකදී රටට යහපත් ප්‍රතිඵලයක් අත් කර ගැනීම සඳහා පුරවැසි බලවේග කුමක් කළ යුතු ද යන්න ගැන සංවාදයක් ආරම්භ කළ යුතු ය.
w3lanka.com

0 comments:

Post a Comment