Tuesday, February 3, 2015

Tagged Under: , ,

i don't hate my life - meena kumari sri lanka

By: Prosperity Tech On: 10:41 PM

ජීවිතය ගැන පසුතැවීමක් මගේ හිතේ නැහැ

මීනා කුමාරි
මේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය රැසකින් ම අප නෙතු මානයේ රංගනයේ සිතුවම් අඳින සොඳුරු නිළියක් ලෙස මීනා කුමාරි හඳුන්වා දිය හැකියි. කලකට පසුව මීනා ‘රසඳුන’ සමඟ ඇගේ රංගන දිවිය ගැනත් නවතම කලා තොරතුරු ගැනත් කතාබහ කළා.
ඔබේ නවතම කලා කටයුතු මොනවගේ ද?
මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක වැඩකටයුතු කරගෙන යනවා. ඒ ඇරෙන්න ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට දායක වුණා.

‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ඔබ නර්තනාංගනාවියක් නේද?
ඔව්. රංගනයක් නැතිව නර්තනයක් තමයි මම ඉදිරිපත් කරන්නේ. රංගන ජීවිතයේ රංගනය නොමැතිව පළමු වතාවට නර්තනයකින් පමණක් චිත්‍රපටයක් ඔස්සේ මගේ රසිකයින් හමුවට මම එන්නේ මේ ඔස්සේයි.

ක්ෂේත්‍රයේ අයගෙන් මෙයට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා ඇති?
ඔව්. අපි දැනගෙන හිටියේ නැහැනෙ නර්තනය හොඳට පුළුවන් කියලා කියන එකයි ඔවුන් පවසන්නේ. ඇත්තටම ක්ෂේත්‍රයේ කවුරුත්ම දැනගෙන හිටියෙත් නැහැ, දැකල තිබුණෙත් නැහැ මම නර්තනයේ යෙදෙනවා. චිත්‍රපටයක් ඔස්සේ එය එළිදක්වන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා.

ඔබ ටෙලිනාට්‍යවලත් මේ දවස්වල ජනප්‍රියම අම්මා නේද?

මේ දවස්වල මම රඟපාපු ටෙලිනාට්‍ය කීපයක් ම විකාශය වෙනවා. ‘මායා පටල’, ‘උතුම් පැතුම්’, ‘ආදර දෑසක්’ වගේ ටෙලිනාට්‍ය. ‘මායා පටල’ ටෙලිනාට්‍යයේ චරිතයට මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. අහිංසක අම්මාගේ චරිතයෙන් තරමක් දුරට මිදුණු නීතිඥවරියක ලෙස කටයුතු කරන, තද ගතිගුණ තිබෙන අම්මා කෙනෙක් ගේ චරිතයක් එය.

චරිතාංග නිළියක වනවාට වඩා ඔබව මවගේ චරිතයටම කොටු කරලා වගේ හැ‍ඟෙන්නේ නැතිද?
දැනට නම් එහෙම තමයි කියලා හිතෙනවා. පසුගිය දවස්වල නම් චරිතයක් තිබුණා ‘හිරු තනිවෙලා’ ටෙලිනාට්‍යයේ. එහි මම රඟපෑවේ විවාහ නොවුණු පුංචි අම්මා කෙනෙකුගේ චරිතයක්. ඒ කාන්තාවට සුවිශේෂී ගතිගුණ තිබුණා. බොහොම ලස්සන චරිතයක් එය. එයත් මම ආසාවෙන් රඟපෑවා. මම මීට පෙරාතුව රඟපෑ ‘වසූදා’ නාට්‍යයේ චරිතය අවුරුදු 19 සිට 55 දක්වා වයස සීමාව වනතුරු විකාශනය වූවා. ඉතින් ඒ නාට්‍යයෙන් රසිකයන් දුටුවේ මගේ වයස කාලය. මේ දැන් ඉන්න විදිහට නෙමේ ඒ චරිතයේදී හැම පැත්තෙන් ම හුඟක්ම ‘කොස්ටියුම්’, ‘බොඩි ස්ට්‍රක්චර්ස්’, ‘ම‍ූමන්ට්ස්’ පවා අපි හදාගෙන ඒ චරිතය රඟපෑවේ. මම හිතනවා ඒ සාර්ථකත්වයට‍ තමයි වයස සීමාවක් නැතිව අම්මාවරුන්ගේ චරිතවලට මට කතා කරන්නට හේතු වුණේ.

ඒ කියන්නේ ඔබට පෙම්වතියගේ චරිතය රඟපාන්න බැරි වටපිටාවක් නිර්මාණයව පවතිනවාය කියන එකද?
අපෝ නැහැ. තවම හොඳින් මට පෙම්වතියගේ චරිතය රඟපාන්න පුළුවන්. බැරිකමක් නැහැ. නමුත් මට මතකයි ‘බාඳුරා මල්’ ටෙලිනාට්‍යයේ මම හිටියේ යෙහෙළියකට. එය තරුණ ගැහැනු කෙනෙකුගේ චරිතයක්. එහෙම කරන්න බැරිකමක් නෙමෙයි.
නමුත් හුඟාක් ටෙලිනාට්‍ය චරිතවල විශේෂයෙන් ම මෙගා ටෙලිනාට්‍ය තුළ මා වෙනුවෙන් ලියවෙන්නේ මවගේ චරිතය තමයි.

පෙම්වතියකගේ චරිතයක් රඟපාන්න ලැබුණොත්?
මම කැමැතියි. ඒත් නොලැබුණා කියල දුකක් නැහැ. නොලැබෙන තරමට හොඳයි. මොකද දැන් මටත් තරුණ දියණියක් ඉන්නවා. අනෙක අද තරුණ ඇක්ට්‍රස්ලා ගොඩක් ඉන්නවා. මම බොහොම ආසාවෙන් අම්මාවරුන්ගේ චරිත රඟපාන්නේ. එහෙම නැත්නම් කාන්තා චරිත.

නව පරපුර ගැන මොකද හිතන්නේ?
නව පරපුරේ අය දක්ෂකම පැත්තෙන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඔවුන්ට සහජ හැකියාව තිබෙනවා‍. එකම දේ තමයි මේ අය රංගනය කියන්නේ කුමක්ද? කියන එක දැනගෙන, හදාරා ක්ෂේත්‍රයට එකතු වන්නේ නැති එක. රංගනය කියන්නේ රූපයම නොවෙයි. රූපය තියෙනවා නම් එය වාසනාවක්. රූපයයි හැකියාවයි ආභාසයයි වැදගත්. සමහර අය ඉන්නවා ක්ෂේත්‍රය ගැන තේරුම් අරගෙන ප්‍රවීණයන්ට ගරු කරමින් මේ ක්ෂේත්‍රයේ රංගනය කරන්නේ කොහොමද, මෙය කොතරම් වටිනවාද, පූජනීයත්වයකින් යුතු ද, කියන එක ගැන අවබෝධයෙන් එන පිරිසක්.
නමුත් බොහෝ වෙලාවට එහෙම වටපිටාවක් නැතිව එන පිරිසකුත් සිටිනවා. ඒ නිසාම දෝ මං දන්නැහැ අද කලාව තුළ යම් යම් කට කතා ඇතිවෙනවා මේ නළු නිළියන් කියන නාමයත් එක්ක. විනයක් ඇතිව, ඉගෙන ගෙන ආ යුතු තැනක් බව මම නවකයන්ට පවසන්න කැමැතියි. අනෙක අද බොහෝ වෙබ් අඩවි වල ගොසිප් බවට පත්වන්නේත් පුවත්පත්වල නරක දේ කළා කියා පළවන්නේත් හැදෑරීමක්, අධ්‍යාපනයක් නැතිව කලා ලොවට එකතු වූ නවකයන් නිසා බවයි මගේ හැඟීම.

ඔබේ දියණිය ඔ‍ෙ‍බ් රඟපෑම් ගැන මොකද කියන්නේ?;
හුඟක් වෙලාවට ඇය මම රඟපාන ටෙලිනාට්‍ය නරඹනවා. ඒවා ගොඩක් විඳිනවා‍. ගෙදරදීත් ඇය කියන්නේ අම්මා අනෙක් අම්මලා වගේ නෙවෙයි කියලා. ඒ නිසා අම්මා කියන සීමාවෙන් එහාට ගිහිල්ලා ඇය යාළුවෙක් විදියට තමයි මං ගාව ඉන්නේ. යාළුවෙක් විදියට, මවක් විදියට හැම විදියකටම ඇය මාව දකිනවා. ඇයට කේන්තියක් හෝ සතුටක් හෝ දැනුණු විට ඒ දේ පිටකරන්නේ මම අම්මා විදියට දැකලා නෙවෙයි. යාළුවෙක් වගෙයි. මම එයින් තේරුම් ගත් දෙයක් තමයි මං ළඟදි ‍‍මගේ දියණියට නිදහසක් තිබෙනවා කියන එක. මේ දිනවල නම් ඇය අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

දියණිය කලාවට දායක කරන්නේ නැද්ද?
ඇයට ඒ හැකියාව උපරිමව තිබෙනවා. දැනට ඇය විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබනවා.

ආදරය ගැන මොකද හිතෙන්නේ?
එයට ඉතින් නිර්වචනයක් දෙන්න නම් මට අමාරුයි. මම දකින විදියට ආදරය තමයි ජීවත් වෙන්නට තියෙන එකම දේ. බොහොම සුන්දරයි. මමත් ආදරය කරනවා. ආදරය විඳිනවා. හැම පැත්තෙන් ම ලැබෙන ඒ ආදරය තුළයි මම ජීවත්වන්නේ.

ජීවිතය ගැන ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?
ජීවිතේ ගැන පසුතැවීමක් මගේ සිතේ නැහැ. නමුත් ආපසු හැරෙන්නේ නම් නැහැ. අපේ අනාගතය ගොඩනැ‍ඟෙන්නේ ආපසු ජීවිතය දෙස හැරී බලද්දී අප ලැබූ අත්දැකීම් තුළින් කියා මම සිතනවා. ඒ අත්දැකීම් මතින් ජීවිතේ තව තවත් ශක්තිමත් කරගෙන එයට මුහුණ දෙන්නට මට ශක්තිය තිබෙනවා.

0 comments:

Post a Comment