Wednesday, January 21, 2015

Tagged Under: ,

Sinhala Funny Jokes

By: Prosperity Tech On: 8:28 PM

කොට්ට මාරු කිරීම

මගීන් පටවා ගෙන නියමිත වේලාවටම ධාවන පථය දිගේ ඉදිරියට ඇදුණු ගුවන්යානය ටික දුරක් ගොස් ඉන්පසු වේගය ටිකෙන් ටික අඩුකොට ආපසු හරවා ගෙනවිත් පිටත්වූ ස්ථානයේම නැවැත්වූයේය.
යානය නැවත පිටත්වූයේ හරියටම පැයක් ප්‍රමාදවය. යානය ගුවන්ගතවී ටික වේලාවකින් එය අහසේ වලාකුළු අතරින් ඇදී යද්දී ගුවන් මගියෙක් තමන් අසලින් යමින් සිටි ගුවන් සේවිකාවකගෙන් එම ප්‍රමාදයට හේතු විමසීය.
‘කලින් සැරේ පිටවෙලා ටිකක් දුර යද්දී පයිලට්ට ඇහිලා තියෙනවා ප්ලේන් එකේ එන්ජිමෙන් අමුතු සද්දයක්. ඒකයි එයා ගුවන් යානය ආපහු හරවාගෙන ආවේ.’ ගුවන් සේවිකාව ආචාරශීලීව පැහැදිලි කළාය.
‘ඉතින් ආපහු පිටත් වෙන්න පැයක් පරක්කු වුණේ මොකද? එන්ජිම මාරු කළා ද?’ මගියා නැවත ඇසුවේය.
‘නෑ එන්ජිම මාරු කළේ නැහැ. හැබැයි පයිලට්ව මාරු කළා.’ ගුවන් සේවිකාව කීවාය.

නොගහා පුළුවන් ද?

තම අසල්වැසියකු හට පහර දුන්නේ යයි චෝදනා කොට ජයවීර උසාවියට පමුණුවන ලද්දේය.
‘තමා, තම අසල්වැසියා හට පහර දුන්නාද?’ චෝදනාව කියැවීමෙන් පසු විනිශ්ච්යකරු විත්තිකරුවා දෙස තියුණු බැල්මක් හෙළමින් ඇසීය.
‘එයා මට දෙමටගොඩ තක්කඩියා’ කියල අපහාස කළා. ස්වාමීනී, ඔබතුමාට මෙයා, ‘අලුත්කඩේ තක්කඩියා’ කියලා අපහාස කළොත්, ඔබතුමා එයාට නොගහා ඉන්නවද?’ ජයවීර පෙරළා ප්‍රශ්න කළේය.-

අපේ ගෙදර ඉඳන්

සිල්වා එක් ඇම­ැතිවර‍යකුගේ ළඟම ආධාරකරුවෙක් විය. ඔහු හැම අවස්ථාවකම කටයුතු කළේ තමා එම ඇම­ැතිතුමාගේ ළඟම හිතවතෙකු බව අන් අයහට හැඟී යන අයුරිනි. දිනක් හේ කිසියම් අවශ්‍යතාවයක් සඳහා තම අසල්වැසියකු වූ පෙරේරා හට දුරකතන ඇමතුමක් දුන්නේය.
“හලෝ, ඔය මිස්ටර් පෙරේරා ද? මම මේ කතා කරන්නෙ සිල්වා, අපෙ ඇම­ැතිතුමාගෙ ගෙදර ඉඳන්.”
“ඔව්.... ඔව්.... මම පෙරේරා තමයි මිස්ටර් සිල්වා. හැබැයි මම කතා කරන්නෙ නං අපේ ගෙදර ඉඳන්.” පෙරේරා පිළිතුරු දුන්නේය.

එහෙම වෙන්නෙ කොහොමද?

ජගත් බස් නැවතුම් පළේ සිටි මැදි වයසේ කාන්තාව දෙස නෙත් කොනින් කීපවරක් බැලුම් හෙළවා දුටු එම කාන්තාව ජගත් දෙස රවා බලා, කෝපයෙන් ගස්සා අහක බලා ගත්තාය.
“සොරි මිස්, ඔයා හරියටම අපෙ අම්මා වගෙ. ඒ හින්දයි මම කීප සැරයක් ම බැලුවේ.” ජගත් ආචාරශීලීව සිනාසී ඇය හට කීවේය.
“අම්මා වගෙ? ඔහේට පිස්සුද? මම තවම බඳින්ඩ හිතලවත් නැහ. ඉතින් කොහොමද අම්මා කෙනෙක් වගෙ වෙන්නෙ?” ඇය උඩඟු එහෙත් කෝල බැල්මක් හෙළමින් කීවාය.

එතකොට ඇඟට ගුණයි

මාස තුනක දීර්ඝ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සංචාරකයාට අවශ්‍ය වූයේ කුලියට ලබා ගන්නා වාහනයක තමාම පදවමින් දවයින පුරා ස්ථාන නැරඹීමට යාමටය. ඔහුට වාහනය ලබා දුන් ආයතනයේ මාර්ගෝපදේශකයා සංචාරකයා හට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මෙසේ කීවේය.
“මෙහේ ත්‍රීවීල් කාරයෝ එහෙන් මෙහෙන් වෙට්ටු දා තමයි පාරේ යන්නෙ. ඒ ගොල්ලන්ට ඉස්සර වෙන්ඩ ඉඩදීලා වාහනේ පදවන එක ඇඟට ගුණයි. ඒ වගේම ප්‍රයිවෙට් බස්කාරයෝ කඟ වේනා වගෙ එනවා දැක්කම වාහනේ පුළුවන් තරං අයින් කර ගන්න එක තමයි හොඳ... එතකොට කන්ටේනර් කාරයෙක් පස්සෙන් වේගයෙන් එනවා නං වාහනේ පේව්මන්ට් එකට හරි අරන් ඉඩ දෙන්ඩ ඕනෙ. වැද ගත්ම දේ නළා පිඹගෙන, කඩා බිඳ ගෙන ඇමැති කෙනෙක් එනවා නං වාහනේ වහාම නවත්තලා ළඟම තියෙන ගහකට නැග ගන්න එක ඉක්මනටම කරන්ඩ ඕනෙ.”

0 comments:

Post a Comment