Sunday, January 11, 2015

Tagged Under: ,

Imran Khan Second Marriage With Reham Khan

By: Prosperity Tech On: 12:08 AM


පාකිස්තානය කැලඹූ ඉම්රාන්ගේ දෙවැනි විවාහය

ලෝක ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස නමක් දිනා සිටි පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායකයා ලෙසින් ද පාකිස්තාන ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයක් උසුලයි. ඔහු එරට අනාගත අගමැතිවරයා වනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබේ.
මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් පසුගිය සතියේ ලෝක ක්‍රිකට් පිටියේ මෙන්ම දේශපාලන පොර පිටියේ කාගෙත් අවධානයට ලක්වෙමින් දෙවැනි වරටත් විවාහ දිවියට ඇතුළත්විය. ඔහුගේ අතගත්තේ බී.බී.සී.යේ කාලගුණය පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කළ රිහාම් ඛාන්ය. 41 හැවිරිදි රිහාම් ඛාන් එංගලන්තයේ ජීවත්වූ පාකිස්තාන කාන්තාවකි.
ඉම්රාන් මෙන්ම ඇය ද මීට පෙර විවාහ වී සිටි කාන්තාවකි. දෙදෙනා අතර කාලයක් පුරා දළුලා වැඩුණු ප්‍රේමය විවාහය දක්වාම රහසක් ලෙස තබාගැනීමට ඉම්රාන් සමත්වූ අතර එය අනාවරණය වූයේ පසුගියදා සිය විවාහයට හිටපු බිරියගේ ආශිර්වාදය ලබා ගැනීමට ඔහු එංගලන්තයට යාමත් සමගය. එහි දී ඔහුගේ හිටපු බිරියත්, පුතුන් දෙදෙනාත් හමුවූ ඉම්රාන් සිය විවාහය පිළිබඳ සියලු තතු ඔවුන් හමුවේ පැවැසූ බව එංගලන්තයේ ‘ඩේලි මේල්‘ පුවත්පත වාර්තා කළේය. ‘නැවත විවාහ වීමට තීරණය කළ බව කියන්නයි මම ආවේ. කොහොමවුණත් විවාහය කියන්නේ සරල දෙයක් නෙවෙයි. විශේෂයෙන් දරුවනුත් ඉන්න නිසා දෙවැනි විවාහයේ දී පරිස්සමෙන් කටයුතු කරන්න වෙනවා. ‘ඔහු හිටපු බිරිය ජෙමීමාට එසේ කියා තිබේ.
ඉම්රාන් හා රිහාම් පසුගිය සතියේ ලහෝර් නුවරදී හොර රහසේම යුග දිවියට පිවිසි බව දැන සිටියේ අතලොස්සකි. ඔහුගේ පවුලේ සියලුදෙනා මේ විවාහයට එරෙහිවූ බව ඉම්රාන්ගේ සමීපතම හිතවතකු වන ආචාර්ය ශාහීඩ් මසූඩ් කීවේය.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ දේශපාලනය පිළිබඳ දැඩි උනන්දුවකින් දක්වන රිහාම් පාකිස්තානයේ අනාගත පළමු කාන්තාව බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බවය. ඉන් අදහස් වන්නේ ඇය ඉම්රාන් හා විවාහ වූයේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අභිලාෂයෙන් බවය. ඉම්රාන්ගේ හා රිහාම්ගේ විවාහයට පාකිස්තාන ජනතාවගේද එතරම් ප්‍රසාදයක් නොමැත. සමාජ වෙබ් අඩවි ගණනාවකම ඔවුන්ගේ විවාහය විවේචනයට ලක් කරමින් විවිධ පණිවුඩ රාශියක් පළකොට තිබිණි.
මීට පෙර වෛද්‍යවරයකු හා විවාහ වී සිටි රිහාම් දරු තිදෙනකුගේ මවකි. බී.බී.සී.රූපවාහිනී සේවයෙන් ඉවත්වූ ඇය දැන් පාකිස්තානයේ ඒ.ඒ.ජේ.ටීවි විසිහතර පැයේ රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටින්නීය.
සිය ක්‍රිකට් ජීවිතයේ සැඳෑසමයේ දී පාකිස්තානයට ලෝක එක්දින ක්‍රිකට් කුසලානය හිමිකර දෙමින් ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම අවිවාහකයකු ලෙස ජීවත්වූ ඉම්රාන් පළමු වරට විවාහ දිවියට ඇතුළත් වූයේ 42හැවිරිදි වියේ පසුවෙද්දීය. පාකිස්තානයේ කෙතරම් රූමතියන් සිටියත් ඔහුගේ බිරිය බවට පත්වූයේ එංගලන්තයේ ඉහළ පැලැන්තියේ වංශවත් කුමරියක වන ජෙමීමා ගෝල්ඩ්ස්මිත්ය.
ඒ වනවිට 21හැවිරිදි වියේ පසුවූ ජෙමීමා ඔහු සමග අතිනත ගැනීමෙන් පසුව පාකිස්තානයේ පදිංචියට පැමිණියාය. එහෙත් ඉම්රාන්- ජෙමීමා විවාහයට වැඩි ආයුෂ තිබුණේ නැත. වසර 9ක විවාහ ජීවිතය කුරුටු ගා 2004 වසරේ දී ඇය නැවත එංගලන්තය බලා පිටත්වූයේ ඉම්රාන්ට දාව උපන් පුතුන් දෙදෙනාත් කැටුවය.
යළි තනිකඩ ජීවිතයකට හිමිකම් කී ඉම්රාන් පූර්ණකාලීනව දේශපාලනයට එක්විය. වසර ගණනාවකට පසුව ඔහුට නැවත විවාහවීමේ සිතක් පහළ වීම එක අතකින් එය අරුමයක් නොවන්නේ තනිකඩ ජීවිතයක් ගතකළ කාලය පුරාම ඔහු වරින් වර විවිධ රටවල රූමත් කාන්තාවන් ඇසුරු කළ බැවිනි.
එහෙත් ඉම්රාන්ගේ දෙවැනි විවාහය ද ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අවිනිශ්චිත එකක් වනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.

0 comments:

Post a Comment