‘‘මගේ තාත්තා පාරම්පරික දේශපාලනඥයෙක් නොවෙයි. බොහොම සරල - සාමාන්‍ය මිනිසකු ලෙස සමාජයට අවතීර්ණවී බොහෝම කැපවීමෙන්, ඉතාමත් උනන්දුවෙන් අප‍්‍රතිහත වූ ධෛර්යයෙන් විටෙක ජීවිත තර්ජන හමුවේ නිදි වර්ජිත කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් ඉතා ඉවසීමෙන් පොළොවේ පය ගහලා ගමනක් ආව විශිෂ්ට මනුස්සයෙක්. ජනනායකයෙක් දක්වා තාත්තා ආ ඒ ගමන ඇත්තටම ශ්‍රේෂ්ඨයි.’’
මෙලෙසින් තම ආදරණීය තාත්තා ගැන පවසන ඇය චතුරිකා සිරිසේන වන්නීය. ඒ අභිනව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමල් දියණියයි. අඩසියවසකට ආසන්න කාලයකට සමීපව දේශපාලනයේ යෙදී සිටින තම ආදරණීය පියාණන් ගැන අන් කවරකුටත් වඩා මේ දියණිය දන්නා දේ බොහෝය. ඇය තාත්තාගේ සුසුම, කඳුළ, සිනහව, හෘදස්පන්දනය හොඳින්ම හඳුනන්නීය. ඒ සියල්ලට සාපේක්‍ෂව ‘‘ජනපති තාත්තා’’ ගැන තවත් බොහෝ දේ ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් ජනපතිතුමන්ගේ වැඩිමල් දියණිය චතුරිකා සිරිසේන ප‍්‍රථම වතාවකට පුවත්පත් පිළිසඳරකට එක්වූවේ මෙලෙසිනි.
ඔබ ගැන වූ සඳහනක් කළොත්?
පාසල් කීපයකින්ම අධ්‍යාපනය ලැබුවා. මුලින්ම පාසල් අධ්‍යාපනය පටන් ගත්තෙ පොළොන්නරුවේ සිටයි. ඉන්පසු ගම්පහ ගෝතමී සහ රත්නාවලී බාලිකා වෙතින් අධ්‍යාපනය ලැබුවා. නමුත් තාත්තා ජනතා සේවයට කැපව ජීවිත ගමන යද්දී, අපි එක්තැනෙක තාත්තා තවත් තැනෙක විදියට හිටියෙ. අම්මා පුංචි මල්ලි අරගෙන බස් එකේ නැගලා අපිව බලන්න පොළොන්නරුවෙ සිට ගම්පහට ආවා. උදේ ඇවිත් හවසට ආයෙත් පොළොන්නරු ගියා. මේ දුෂ්කරතා අතරේ අපට පවුලක් ලෙස එකට සිටිය යුතුය කියන දේ තාත්තාගේ හිතේ නිතරම තිබුණු දෙයක්.
ඒ නිසා නැවතත් මං පොළොන්නරුවට ගියා. ගිහින් උසස් පෙළ දක්වා රාජකීය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා.
ඉන්පසුව මාලබේ තොරතුරු තාක්‍ෂණ සරසවියෙන් මෘදුකාංග ඉංජිනේරු උපාධිය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඊටත් අමතරව කළමනාකරණය සහ අලෙවිකරණය ගැන උසස් අධ්‍යාපනය ලැබුවා. මම විවාහකයි. දියණියක සහ පුතකු සිටිනවා. අපි ඉගෙන ගත් දේ ප‍්‍රයෝජනයට ගෙන මමයි මගේ සැමියයි එකතුවෙලා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
ඔබගේ මව හා පියාට සාපේක්‍ෂව ඔබ, ඔබ ගැන සසඳන්නෙ මොන විදියටද?
කාන්තාවක ලෙස මම සීයයට සීයක්ම අපේ අම්මා වගේ කියලයි මට හිතෙන්නෙ. ඒත් රාජකාරියේ දී මා තාත්තා වගෙයි. ජීවිතයේ දී මට හීනයක් තිබුණා. ඒ මට මගේ අම්මා වගේ වෙන්න පුළුවන් නම් කියන හීනයයි.ඒකට විශේෂ හේතුවක් තිබුණද?
මේ දක්වා මගේ ජීවිතයේ දී මා දුටු හොඳම ආචාරවරිය ඇයයි. මම හොඳ දියණියක්, හොඳ බිරිඳක්, හොඳ මවක් වුණොත් අපේ ඒ ශ්‍රේෂ්ඨ අම්මා නිසයි. මම ජීවිතයේ අනුගමනය කරන ආදර්ශවත් චරිතය ඇයයි. ජයන්ති පුෂ්පකුමාරී වන ඇය බොහෝම සරල, සුන්දර අව්‍යාජ චරිතයක්. අද ජනපති බිරිඳ වෙලත් තාත්තාගේ කෑමවේල හදලා දෙන්නේ ඇයගේම අතින්. ඇය එහෙම කරන්නේ බොහෝම ගෞරවයෙන්, දැඩි ස්වාමි භක්තියකින්. ඒක අතිශයෝක්තියකින් කියන දෙයක් නොවෙයි. බොහෝම ආඩම්බරයෙන් මම කියන්නෙ. තාත්තාගේ කෑමවේල පිළියෙළ කරදෙන්න අප කුස්සියට එනවාටවත් අම්මා කැමති නැහැ. තාත්තගෙ පිඟාන - කෝප්පයවත් අපට අල්ලන්න දෙන්නෙ නැහැ. තාත්තාත් එහෙමයි. මොන තැන, මොන රාජකාරියෙ යෙදුණත්, අම්මා උයන කෑම විතරයි කන්නෙ. ඒක තාත්තා වටේ සිටින ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ඇයගෙ සැමියා මෙලෙසින් ජනපතිවරයා වුණත් ඇය අපට වගේම මේ මුළු රටේ සමස්ත ලක්වැසි දරු දැරියනට සැබෑම මවක් වේවි. ඒ මවගේ දියණියක වීම මා ලැබූ විශේෂම දෙයයි. ඇත්තටම අපේ අම්මා - තාත්තා කියන්නෙ බොහෝම සරල - සුන්දර යුවළක්. ඒ දෙන්නාගේ ආදර කතාවත් බොහෝම සුන්දරයි.ඒ ආදර කතාව ගැන ඔබට කියලා තියෙනවද?
එවිට තාත්තා රැකියාව කරලා තියෙන්නෙ සමුපකාර සැපයුම් නිලධාරියකු ලෙසයි. අම්මා ඒ වන විට අධ්‍යාපනය ලබමින් සිටියලූ. දැකපු මුල්ම දවසේ අම්මා ගැන පුදුමාකාර බැඳීමක් තාත්තාට ඇති වුණාලූ. පසුව අම්මාගේ තාත්තාගෙන් මේ ගැන කෙළින්ම අහලා තියෙනවා. ඉන්පස්සෙ වසර ගණනාවක ආදර කතාවකට මුල පුරලා විවාහ දිවියට ඇතුළත් වෙලා. ඒ ආදරණීය කතාවේ ප‍්‍රතිඵල තමයි මම, නංගි ධරණීචාරිකා සහ මල්ලි දහම් තාරක. ඒ විතරක් නෙවෙයි අද ඒ ආදරණීය යුවළට මිනිබිරියක සහ මුනුබුරකු සිටිනවා. අපේ ඒ කැදැල්ල ඇත්තටම බොහෝම සුන්දරයි.
ඒ සුන්දර කැදැල්ලේ සිටින ඔබගේ තාත්තා දින චර්යාව පටන් ගන්නෙ මොන විදියටද?
අවදි වූ විගස තාත්තා කරන්නෙ මෛත‍්‍රී භාවනාවේ යෙදීමයි. එය අපි කුඩා කාලයේ ඉඳලාම දුටු දෙයක්. අම්මා බුදු පහන තියලා පිරිත් දාලා දවසේ වැඩ ආරම්භ කරනවා. ඒ අතරවාරයේ දී තාත්තා වතුර වීදුරුවක් බීලා නැවත භාවනාවේ යෙදෙනවා. අම්මා තේ එක හදලා දුන්නාම ඒක බොන අතරේ පත්තර කියවනවා. ඒ වගේම තාත්තාට උදේට අනිවාර්යයෙන්ම පොතක් කියවන්නට ඕනෑ. අද ජනපති වෙලත් ඒ සියල්ල ඒ විදියටම කරනවා. දිනපතා කරන ව්‍යායාම් ඒ විදියටම කරනවා. ඒ විදියට දවසට එළැඹෙද්දී, අම්මා තාත්තාගේ කෑමවේල පිළියෙල කර උණුවෙන්ම එය සකසා දෙනවා. පොල් සම්බල, කඩල වර්ගයක් සමඟ බත් තමයි ප‍්‍රධාන වෙන්නෙ. ගැමි පරිසරයක හැදුණ නිසාදෝ අපට තුන්වේලම බත් ඕනෑ. රාත‍්‍රී ආහාර වේලට නිවුඞ්ඩ සහිත (කුරක්කන්) වැනි දේ තමයි අම්මා තාත්තාට පිළියෙල කර දෙන්නෙ. සෑහෙන කාලයක සිට අම්මා මාංශ අනුභව කරන්නෙ නැහැ. කාලයක් තාත්තාට ත‍්‍රස්තවාදී තර්ජන තිබුණා. ඒ වගේම අවංක දේශපාලනය කිරීම නිසාත් විවිධ තර්ජන තිබුණා. ඉතින් තාත්තාගේ ආරක්‍ෂාව පතා අම්මා ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත්ත තීරණයක් එය.තාත්තා පිටුපස සිටින මහා හෙවනැල්ල අම්මා කියල ද ඔබ කියන්නෙ?
සහතිකෙන්ම ඔව්. ජනතා මෙහෙවරක යෙදිලා තාත්තා නිවසට එනවිට අම්මා අපට ටී.වී. එකවත් දාන්න දුන්නෙ නැහැ. ඒ වගේම ගෙදර ආවාම තාත්තාගෙ ඔලූවට අනවශ්‍ය දේ දැම්මෙත් නැහැ. තාත්තාත් එහෙමයි. ගෙදරට ගොඩ වෙන්නෙ දේශපාලනඥයෙක් විදියට නෙවෙයි. ආදරණීය සැමියකු සහ පියකු ලෙසයි. ඒ සිනහව ඇත්තටම හරි අව්‍යාජයි. තාත්තාගේ අනිවාර්යය පුරුද්දක් තමයි උදෑසනට ගීතයක් මුමුණන එක. ඒත් නැතිනම් ගී අනුවාදයකට ශ‍්‍රවණය කිරීම. රාත‍්‍රි නින්දට යාමට පෙරත් වාද්‍ය සංගීතයට තාත්තා හරිම ප‍්‍රියයි. එයින් තාත්තා බලාපොරොත්තු වෙන්නෙ මානසික සැහැල්ලූව වෙන්න ඇති. තාත්තා වෙතින් දකින තැන්පත්කමට හේතුවත් ඒවා කියලයි මා හිතන්නෙ.ඔබ මෙහෙම කියන්නෙ අතිශයෝක්තියකින් නොවෙයිද?
කොහෙත්ම නැහැ. අපට එහෙම අවශ්‍යතාවක් නැහැනෙ. මං බොහෝම ගෞරවයෙන් සහ ආදරයෙන් කියන්නෙ අපේ තාත්තා පන්සිල් පද පහ රකින තාත්තෙක්. නිතරම අපට කියන්නෙත් ගෞරවය රැුකගෙන ගෞරව කරමින් ජීවත් වෙන්න කියලයි. ගෙදරදී කාටවත් ද්වේශයෙන් වෛරයෙන් කතා කරන හැටි අප දැකලා නැහැ. ලස්සන පවුල් ජීවිතයකට එයා ආසා කළා. මේ රටට නායකත්වයට අවශ්‍ය වන්නෙ ඒ වගේ ලස්සන පවුලක් තියෙන තාත්තා කෙනෙක් කියලයි මා හිතෙන්නෙ.හැබැයි එහෙම වුණාට පවුල් දේශපාලනය නම් අපේ පවුල වෙතින් එන එකක් නැහැ. බොහෝම අඩුවෙන් දැකගත හැකි ජනපති ආර්යාවත් මගේ අම්මා වේවි.
ඔබ මෙන්ම ඔබගේ පවුලේ උදවිය නිතරම දකින්න පෙනෙන්නට සිටියේ නැහැ. එහෙම වෙන්නට හේතුව තාත්තා තහංචි දාලා තිබුණද?
කවදාවත් තාත්තා අපට තහංචි දාලා තිබුණෙ නැහැ. සාමාන්‍ය පෙළ සමත්වෙලා ප‍්‍රතිඵල ගැන කියද්දී තාත්තා මට කිව්වෙ පුතා කැමති අංශයක් උසස් පෙළට තෝරා ගන්න කියලයි. හැබැයි නිතරම අපට තැනකට ගියාම සිටිය යුතු විදිය සහ සාරධර්ම ගුණ දහම් ගැන නිතර පසක් කර දුන්නා. බලය කියන දේ අද තියෙන්න පුළුවන්. හෙට උදේ වෙන කොට නැති වෙන්න පුළුවන්. ඒ නිසා කිසි දවසක බලය කියන තාවකාලික පිරුවටය ගැන හිතන්න එපා කිව්වා. පොළවේ පය ගහලා සිටිය යුතු විදියට තමයි අපිව සමාජ ගත කළේ. ඒ නිසාම දෝ අපට ගමේ සහ නගරයේ සමතුළිත බව එක්ක ජීවිතය ගෙන යන්න පුළුවනි. අපි ඇත්තටම යථාර්ථය තේරුම් අරගෙන ජීවත්වන පවුලක්. කවදාහරි මට කෑ ගහලා කියන්න පුළුවනි අපේ තාත්තා හොරකම්, වංචා කළේ නැහැ කියලා.
ඔබ කියන්නෙ තාත්තා ප‍්‍රතිපත්ති ගරුක අවංක දේශපාලනඥයෙක් කියලද?
එහෙමයි කියලා කියන්න ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. පොළොන්නරු වැසියන් ලෙස වගේම දේශපාලන කටයුතු නිසා ත‍්‍රස්තවාදි භීෂණ හමුවේ ඒ පීඩනය තදින්ම අපට දැනුණා. නමුත් දිවි පරදුවට තබා තාත්තා තමුන්ගේ නායකත්වයට ගරු කළා. තාත්තා දේශපාලනය කළේ එහෙමයි. ගරු සිරිමාවෝ මැතිනිය, හිටපු ජනපති චන්ද්‍රිකා මැතිනිය වගේම අපේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් වෙනුවෙන් විශ්වාසය දරාගෙන කටයුතු කළා. එදා යුද්ධය අවසන් වෙන ජයග‍්‍රාහී මොහොතේ දී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විදෙස් ගතව හිටියෙ. ඒ මොහොතේ ආරක්‍ෂක ඇමැති ලෙස රාජකාරී පවරලා තිබුණෙ තාත්තාට. ඒ අවංකකම කොච්චරද කිව්වොත්, ජයග‍්‍රාහී පණිවුඩය රටවැසියන්ට එතෙක් ප‍්‍රකාශ නොකොට තමුන්ගේ ආදරණීය නායකයා රටට එනකල් එය රහසක් ලෙස තබාගෙන සිටියා. අපේ තාත්තා අන්න ඒ වගේ අවංක චරිතයක්.ඇයි ඒ අවංක චරිතය පසුව වෙනස් වුණේ? ඒ කියන්නෙ පොදු අපේක්‍ෂක වෙන්න තීරණය කළේ?
ඇත්තම කිව්වොත් ජීවිතය පරදුවට තියලා තාත්තා ඒ තීරණය ගත්තෙ දූෂිත රටක් ලෙස මෙය එක පිරිසක් වටා ගොනුවී තිබූ මොහොතකදීයි.විශේෂම හේතුව එය කියල ද ඔබ කියන්නෙ?
ඒ පැවැති ක‍්‍රමය ගැන කාලයක සිට තාත්තාට පැහැදීමක් තිබුණෙ නැහැ. සුදුස්සන්ට සුදුසු තැන ලැබුණෙත් නැහැ. මේ දේශය සියලූ ලක්වැසියන්ගේ දේශයක් මිසෙක එක් පිරිසකගේ සූරාකන දේශයක් නොවන වග තාත්තා සඵත කළා. මෙය එක්වරම ගත්ත තීරණයක් නෙවෙයි. හොඳට හිතලා මතලා ගත්ත තීරණයක්. තාත්තා එයාගෙ ජීවිතය පරදුවට තියලා ගත්ත තීරණයක්.නමුත් සමහරු විශ්වාස කළේ එය දේශපාලන කුමන්ත‍්‍රණයක ආදේශයක් කියලයි. ඒ වගේම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට හසුවීමක් ලෙසත් අදටත් සමහරු හිතනවා. ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද?
පක්‍ෂ ගණනාවක් කිසිදු ඉල්ලීම් නැතුව ඇයි තාත්තාව තෝරා ගත්තෙ? ඇයි සහයෝගය දුන්නෙ? ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. තාත්තා ගෞරවනීයව දේශපාලනය කළ නිසයි. අන්න ඒ නිසයි කොන්දේසි විරහිතව සියලූ පක්‍ෂ තාත්තාව පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තෙ. ඒක තමයි ඇත්ත කතාව.තාත්තා පොදු අපේක්‍ෂකයා වන බව පවුලේ අය දැනගෙන හිටියද?
සෞඛ්‍ය ඇමැතිව සිටිය දී තාත්තා සමාජයේ යහපත උදෙසා කළ බොහෝ දේ නිසා ජාවාරම්කාරයින් සහ ගසාකන්නන් නිසා තාත්තාට උසාවියේ බංකුවේ ළගින්න පවා සිදුවුණා. ඒ අතරේ මඩ ප‍්‍රහාර පවා එල්ල කළා. ජීවිතයට තර්ජන පවා එල්ල වුණා.ඒ පැවැති ක‍්‍රමය ගැන තාත්තා හරිම කණගාටුවෙන් හිටියෙ. නමුත් එයාගෙ සමාජ හිතකර ප‍්‍රතිපත්ති වෙනස් කළේ නැහැ. මේ තීරණය අරගෙන ඇවිත් අපට කිව්වා. මේ නිසා මට මගේ ජීවිතය වගේම ඔයාලටත් ඔයාලගෙ ජීවිත නැති වෙන්න පුළුවන් කීවා. ඒත් තාත්තාගෙ හෙවනැල්ල වූ අම්මාත්, මම - නංගි සහ මල්ලීත් එකහෙළාම තාත්තාට ආශිර්වාද කළා. පුදුමෙ කියන්නෙ මැරෙන්න වුණත් අපට බයක් ආවේ නැහැ. තාත්තා තීන්දු තීරණ ගන්නෙ හොඳට හිතලා බලලා බව අප දැනගෙන හිටියා.
0 comments:
Post a Comment