Monday, June 1, 2015

Tagged Under: , ,

LITTLE GIRL RESCUED FROM ABDUCTOR in Puttalam

By: Prosperity Tech On: 8:11 PM

කාමාතුරයෙක් පැහැර ගත් දැරිය පැය 3ක මෙහෙයුමකින් පසු සොයා ගනී (VIDEO)

අපයෝජනය කිරීමේ අරමුණින් පැහැර ගැනීමකට ලක්වූ පුත්තලම අනගාරික ධර්මපාල විදුහලේ පළමු වසරේ දැරියක් බේරා ගැනීමට පුත්තලම පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් අද (01) සමත්වුණා. පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය අද පාසල නිම වී පැමිණෙන විට පුද්ගලයෙකු විසින් උපක්‍රමශීලිව තිල්අඩිය - වේලක්කන්නි දේවාස්ථානයට යාබදව පිහිටි සුසාන භූමිය ආසන්නයේ ඇති ඝන කැලෑවට රැගෙන ගොස් තිබෙනවා.


දැරිය රැගෙන යන පුද්ගලයා පිළිබඳව සැක සිතී ගම්වාසීන් ඒ පිළිබඳ සොයා බලා ඇති අතර, පසුව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමේදී දැරිය සොයා ගැනීමට හැකිවුණා. වන ප්‍රදේශයේ සැඟව සිටි සැකකරු ද පසුව අත්අඩංගුවට ගැනුණු අතර, ප්‍රදේශවාසීන් සැකකරු පොලිසියට රැගෙන යාම වළක්වාලමින් ඔහුට පහරදීමට උත්සාහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

Update: Monday, 01 June 2015 - 07:24 PM
............................................................

පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේ දැරියක් කාමාතුරයෙකු විසින් (01) වන දින පැහැරගෙන ගොස් කැලෑවක සගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක සෝදිසියකින් පසු නිරුපද්‍රිතව දැරිය බේරා ගැනීමට හැකි වූ අතර, සැකකාර කාමාතුරයාද කැලෑවක සැගව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ පැහැර ගෙන තිබුණේ අනගාරික ධර්මපාල විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. මෙම දැරිය පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්,  මෙම දැරිය පවුලේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු බවත්, අනෙක් දරුවා පිරිමි දරුවෙකු බවද කියයි.

මෙම දැරිය පාසල ඇරී වෙනදා ඇගේ සොහොයුරා සමග ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙන නමුත් (1) වන දින කෙසේ හෝ මෙම කාමාතුරයා දැරියව උපක්‍රමශීලිව රවටාගෙන තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානයට යාබදව පිහිටි සොහොන් පිටිය ආසන්නයේ ඇති ඝණ කැලෑවට රැගෙන ගොස් ඇති බව කියයි.

මෙම දැරිය නාදුනන පුද්ගලයෙකු සමග ගමන් කරන ආකාරය දුටු දැරියව හදුනන පිරිසක් මෙම සැකකාර පුද්ගලයා පිළිබදව සැක පහළවී ඇති බවත්, ඒ අනුව මේ පිළිබදව ගම්මුන් සොයා බලන්නට පටන් ගෙන ඇති බව කියයි.

කෙසේ හෝ විනාඩි ගණනක් යන්නට මත්තෙන් මෙම සැකකරු දැරියව කැලෑ මාර්ගයෙන් ජනතාව මග හරිමින් පැමිණ කලපුව ආසන්නයේ පිහිටි ඝණ කැලෑවට දැරිය රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම ප්‍රදේශවාසීන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන නිළධාරින් සමග දැරිය සෙවීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණි.

මෙහෙයුම ආරම්භ කර පැය දෙකකට පමණ පසු දැරිය ඝණ කැලෑවේ සිට විළාප තබන ආකාරය ඇසී ප්‍රදේශවාසීන් ඒ දෙසට දුවන්නට වූ අතර, කැලෑවේ සිටි දැරිය හඩමින් ජනතාව දෙසට දිව එන්නට විය ඒ සමගම දැරියගේ පියා විසින් දැරිය ඔසවාගෙන දුම්රිය මාර්ගය වෙත රැගෙන ඒම සිදු වූයේ එම අවස්ථාව වන විටත් රැස්ව සිටි 2000ට ආසන්න ජනතාවකගේ හදවත් වලට සැනසුමක් එක්කරමිනි.

පසුව මෙම දැරියගේ මව සමග  පොලිස් ස්ථානය වෙත යැවීමට කටයුතු කල පොලිස් නිලධාරින් නැවත ජනතාව සමග සැකකරු සොයා මෙහෙයුම ආරම්භ කල අතර, දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර කාමාතුරයා ප්‍රදේශවාසීන් හා පොලිසිය විසින් සොයා ගැනුන නමුත් මෙම සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට නැවතත් පැයනට ආසන්න කාලයක් ගත වූයේ රැස්ව සිටි පිරිස මෙම සැකකරුව පොලිසියට රැගෙන යාමට ඉඩ නොදෙමින් කලහාකාරි ලෙස හැසිරෙමින් දැඩි ලෙස සැකකරුට පහර දීම හේතුවෙනි.

මේ නිසා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානය අසල සිට දුම්රිය හරස් මාර්ගය දක්වා දැඩි වාහන තදබදයක් ඇතිව තිබූ අතර, ජනතාව 2000ට ආසන්න ප්‍රමාණයක් රැස්ව සිටි ආකාරය දැක ගත හැකි විය.

අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට දැනට කරන ලද පරික්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට සූදානම්ව තිබූ බව පොලිසිය කියයි.















































ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ 
(hirunews.lk)

0 comments:

Post a Comment