Wednesday, April 1, 2015

Tagged Under: , ,

President's Brother Priyantha Sirisena Murder and Media Behavior

By: Prosperity Tech On: 9:00 AM

ප්‍රියන්ත සිරිසේන ඝාතනය හා ප්‍රබන්ධ ප්‍රවෘත්ති 'කලාව'

පහත අමුණා ඇති වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී වන ප්‍රියන්ත සිරිසේන මිය ගිය ආකාරය පිළිබඳ සිදු වන ප්‍රචාරය ගැන එම වීඩියෝවේ කරුණු පැහැදිලි කරන්නේ අපරාධය සිදු වූ ප්‍රදේශය භාර ග්‍රාමසේවකවරයා ය.

ප්‍රියන්ත සිරිසේන මිය ගියේ ඝාතකයාගේ බිරිඳ සමග සංසර්ගයේ යෙදෙද්දී පිටුපසින් පැමිණි සැමියා විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ය යන ප්‍රවෘත්තිය නිර්මානය කළ ආකාරය හා එය ප්‍රචාරය කළ ආකාරය අධ්‍යයනය කළ යුතු ය.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග එය සිදු වන්නට ඇත්තේ මෙසේ ය යන අනුමානය බොහෝ දෙනෙක් විසින් ඇති කර ගන්නා ලදී. සමාජය ගැන ඇති සාමාන්‍ය අවබෝධය ඒ සඳහා පදනම් විය. එසේම, බොහෝ දෙනෙක් මෙම සිද්ධිය දුටුවේ තමන් ඔස්සේ ය. එය වනාහි තමන් වින්දිතයා හෝ ඝාතකයා වී නම් එය සිදු විය හැක්කේ කෙසේ ද යන්න ගැන තමන්ගේ පරිකල්පනයෙන් කරන ලද නිගමනයකි.

සිද්ධිය සාකච්ඡා සිදු වූ සෑම කවයක ම පා‍හේ මේ අනුමානය කළ අය සිටිය හ. එය ඉතා සාමාන්‍ය පරිකල්පනයකි.

සමාජ මාධ්‍ය ඇසුරු කළ ඕපාදූපකරුවෝ එය මුහුණු පොතේ ලියූ හ. ඔවුන්ගේ යහළු ඕපාදූපකරුවෝ ඒ ගැන අදහස් පළ කළ හ. අතිනුත් දමමින් ප්‍රචාරය කළ හ.

මේ අතර ඕපාදූප වෙබ් අඩවි අතර ඇති තරගය ද ඉස්මතු විය. මෑතදී මෙවැනි වෙබ් අඩවියකින් බිඳී විත් එම අඩවියේ නම හා සමාන නමක් ප්‍රවර්ධනය කර ගන්නට උත්සාහ කරන්නෙක් මෙම ප්‍රවෘත්තිය නිර්මානය කර එය සමාජ ජාල ඔස්සේ බෙදන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. මෙම වෙබ් අඩවිය මහින්දට පක්ෂ ප්‍රචාර සිදු කරමින් ඒ පැත්තෙන් ආර්ථික ආධාර අපේක්ෂා කරමින් හෝ ලබමින් සිටින බවක් පෙනේ.

මෙම ප්‍රවෘත්ති නිර්මානය කරන ආකාරය ඉතා රසවත් ය. මෙම ප්‍රවෘත්ති නිර්මානකරුවා මුලින් කීවේ මෙම මරණය ප්‍රියන්තත්, ඝාතකයාත් එක ගෙයි කෑමක් සමග ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවයි. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ සිට සිය මල්ලීට බැන වැදුණු ආකාරය ද ලියුවේ ය. නැවතත් මෙම ප්‍රවෘත්තිය 'ෆලෝ අප්' කරමින් ජනාධිපති මෛත්‍රීපාල ඝාතන සැකකරුගේ කටඋත්තරය වෙනස් කර ඇති බව ද වාර්තා කළේ ය.

මෙම ප්‍රවෘත්ති නිර්මාන සඳහා කිසිදු මූලාශ්‍රයක් අවශ්‍ය නැත. ඔවුන් කරන්නේ අදාළ චරිත තමන් හා තමන් දන්නා වෙනත් අය සමග සමපාත කර ගනිමින් ඔවුන්ගේ සිතුවිලි හා හැසිරීම අනුව සිදු විය හැකි දෙයක් ප්‍රවෘත්තියක් ලෙස ලියා පළ කිරීමයි.

නිදසුනක් ලෙස, ප්‍රියන්ත සිරිසේන හා ඝාතන සැකකරු වැනි අය අපේ ගම්වල ද සිටිති. මෙවන් ප්‍රවෘත්ති කලාවක් මා කරනවා නම් කරන්නේ අපේ ගමේ එකාගේ කැරැට්ටුව මේ අයට ආරෝපණය කර ප්‍රවෘත්ති ලිවීමයි.

මෙම ගොසිප් ඊළඟට බලපාන්නේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට ය. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී යම් වගකීමකින් කටයුතු කරන්නට උත්සාහ කරන වෙබ් අඩවියක් ඝාතනය සිදු වූ ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශය හැර යමින් සිටින බව වාර්තා කළේ ය.

මේ වන විට ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල වෙබ් අඩවි පවා අනුගමනය කරන්නේ ගොසිප් ශෛලියයි. මේ සඳහා හොඳම උදාහරණය ලංකාදීප වෙබ් අඩවියයි.

වෙබ් අඩවියක් ජනප්‍රිය කර ගැනීම සඳහා ඕපාදූප හා ප්‍රවෘත්ති ප්‍රබන්ධ කෙතරම් ඉවහල් කර ගත හැකි ද යන්නට විමල් වීරවංශ පක්ෂය විසින් පවත්වාගෙන යන ලංකා සී නිව්ස් උදාහරණයකි. මෑතක සිට ජවිපෙ ලංකා ටෲත් වෙබ් අඩවිය ද මෙම මාර්ගයට පිවිසෙමින් සිටියි.

මෙම ප්‍රවෘත්ති ප්‍රබන්ධ ඉන් පසු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් බලපායි. එහෙත්, ඒ වන විට ඒවා සමාජයට කාන්දු වී බොහෝ කල් ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සිදු වන්නේ හානි ප්‍රතිපූරණය කිරීමේ කාර්යයට අතගසන්නට ය. ඔවුන්ට වෙළඳපොළ හැදෙන්නේ එතැනිනි. ප්‍රධාන ධාරාවේ හානිපූරක වාර්තා ඉන් පසු නැවතත් ගොසිප් වෙබ් අඩවිවල ද පළ වේ. ඒවා කුමන්ත්‍රණ බව ද, එම කුමන්ත්‍රණ සිදු වූයේ මෙසේ යයි ද තවත් වාර්තා පළ වේ. මෙය තනිකරම ප්‍රවෘත්ති විෂම චක්‍රයකි.

සමාජ ජාල ඔස්සේ මේ ප්‍රවෘත්ති ප්‍රබන්ධ පැතිරී යන්නේ අධිවේගයෙනි. එසේ වන්නේ ඇයි? ඒවා ෂෙයා කරන අය ඒවා විශ්වාස කරනවා ද? සම්පූර්ණයෙන් ම විශ්වාස කරනවා යයි කියන්නටත් බැරි ය. මේවා ෂෙයා කරන්නන් තුළ එක පැත්තකින් දේශපාලනික උවමනාකම් තිබේ. අනෙක් පැත්තෙන් මේ ගොසිප්වල ඇති කුණු රසයට ‍බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති. තවත් පැත්තකින් වෙනත් අයට නැති තොරතුරු මූලාශ්‍ර තමන්ට තිබේ ය කියා පෙන්වන්නටත් සමාජ ජාල පරිහරණය කරන්නෝ කැමැත්තක් දක්වති.

අවසානයේ මේවායින් සිදු වන්නේ කුමන අන්දමක වුව මළ මිනිසකුට අපේ සමාජය දැක්වූ මානුෂික ගරුත්වය පවා නැති වී යන පරිහාණියක් සමාජයේ ඇති වීමයි.

සියල්ල සැක කරන, හැම තැනක ම කුමන්ත්‍රණයක් දකින සමාජයක් නිර්මානය වීමයි.

මේ ප්‍රවෘත්ති ප්‍රබන්ධවල වින්දිතයන්ට සිදු වන දේ ගැන කිසිවෙක් අවධානය යොමු නො කරති.

මීට බොහෝ කලකට පෙර, සමාජ ජාල ප්‍රචලිත වෙන්නට පෙර යුගයකදී ජනමාධ්‍ය පාවිච්චි කිරීම හෙවත් මීඩියා මැනිපියුලේෂන් සිදු වූ ආකාරය ගැන නිර්මානය වූ අනගි චිත්‍රපටයක් මට සිහිපත් වේ. එය වනාහි බැරි ලෙවින්සන් අධ්‍යක්ෂණය කළ, ඩස්ටින් හොෆ්මාන් හා රොබට් ඩි නීරෝ රඟන වැග් ද ඩෝග් චිත්‍රපටයයි.

ජනපති සොහොයුරු සහ ඝාතකයා ගැන ‘ග්‍රාම නිලධාරී’ අපට කියූ කතාව

(w3lanka.com)

0 comments:

Post a Comment