Sunday, February 15, 2015

Tagged Under: , ,

Maithripala Sirisena meets PM Narendra Modi

By: Prosperity Tech On: 8:52 PM

මෛත්‍රී,මෝදී අතර සාකච්ඡා අද

ඉන්දු - ශ‍්‍රී ලංකා සබඳතාවලට නව ආරම්භයක් සනිටුහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ඉන්දීය ජනපති ප‍්‍රනාබ් මුකර්ජි සහ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා අද ආරම්භ කිරීමට නියමිතයි. 

සිය ප‍්‍රථම විදෙස් නිල සංචාරය ආරම්භ කරමින් සාමාන්‍ය කාලසටහනකට අනුව පියාසර කරන ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු ධුත පිරිස ඊයේ පස්වරුවේ ඉන්දියාවට ළඟා වුණා. ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ශ‍්‍රී රාධකි‍්‍රෂ්ණන් සහ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයිකේ සිංහායි. අනතුරුව ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ තැන්පත් කර ඇති අවලෝකීතේශ්වර බෝධි සත්ව ප‍්‍රතිමාව නිරාවරණය කිරීමද ජනාධිපති මෛත‍්‍රිපාලගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී සිදු  කෙරුණා.

ක‍්‍රිස්තු පූර්ව 8 වන ශතවර්ෂයට අයත් බවට කාල නිර්ණය කර ඇති මෙම අවලෝකීතේෂ්වර බෝධි සත්ව ප‍්‍රතිමාව අනුරාධපුර - වේරගල ප‍්‍රදේශයෙන් හමුවූවක්. මහායාන බුදු දහමට අනුව මෛත‍්‍රී බුදුන් වහන්සේ පහළවන තුරු ලෝක සත්වයින් ආරක්ෂා කරනු ලබන්නේද අවලෝකීතේශ්වර බෝධි සත්වයන් විසින් බව මහායාන ග‍්‍රන්ථයක් වන කුණ්ඩරීක ග‍්‍රන්ථයේද සඳහන් වනවා.

මෙම නිල සංචාරයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි ඇතුළු ඉන්දීය රජයේ ඉහළපෙලේ රාජ්‍ය තාන්ති‍්‍රකයන් රැසක් සමඟ අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ මෙම නිල සංචාරයේදී දෙරටටම වැදගත් වන ආරක්ෂක, ආර්ථික සහ සමාජීය එකඟතාවයන් රැසකට එළැඹීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක, සෙයිද් අක්බරුදීන් සඳහන් කළේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට ද මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිත බවයි.

මේ අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද පස්වරුවේ නවදිල්ලි නුවර මහබෝධි සංගමයේ ද චාරිකාවකට එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
(hirunews.lk)

0 comments:

Post a Comment