Monday, October 13, 2014

Tagged Under: ,

නිළියක් වීම මගේ විවාහයට හේතුවක් වුණේ නෑ - ප්‍රතිභා

By: Prosperity Tech On: 1:10 AM
ප්‍රතිභා හෙට්ටිආරච්චි. ඇයව ඒ නමින් හඳුනන අය නැතුවා නොවෙයි. නමුත් ගාමිණී හෙට්ටිආරච්චිගේ දියණිය ප්‍රතිභා කිව්වොත් හැමෝම හඳුනනවා. අලුත විවාහ වුණු ඇගේ ගෘහ ජීවිතය ගැනත් ඕපපාතිකයක් නොවුණු කලා ජීවිතය ගැන කතා කරන්නත් ඇයව රිවිසරසි කතාබහකට එකතු කරගත්තා. මේ අලුත් ජීවිතයට හුරුවුණු ප්‍රතිභාගේ තොරතුරුයි.
ප්‍රතිභා කොහොමද?
හොඳින්, සතුටින් ඉන්නවා.

අලුත් ජීවිතේට හුරුවෙලාද?
මුල් දවස් ටිකේ නම් නුහුරුකම තදින්ම දැනුණා. අම්මා, තාත්තා, අයියාගෙන් ඈත්වෙලා ජීවත් වෙන්න අමාරු වුණා. දුකයි. නිතරම ඒ අයව මතක් වෙනවා. මොකද මම විවාහ වෙනකල් ජීවත් වුණේ ඒ අය එක්ක. අපේ බැඳීම හරිම ශක්තිමත්. ඒ නිසා වෙනස් වෙන්න ටිකක් අමාරු වුණා. මගේ සැමියා වෙනුර සේනානාත්. දැන් නම් එයා එක්ක ගෙවන ජීවිතේ සුන්දරයි. ඒ ජීවිතය දැන් මට හුරුයි.

ජනප්‍රිය සංස්කෘතියට අයත් බොහෝ ගෘහණියන් උයන්න දන්නේ නැහැනේ. ප්‍රතිභාත් රසට උයන්න දන්නේ නැද්ද?
මමයි, වෙනුරයි පදිංචිවෙලා ඉන්නේ තනියම. ගෙදර වැඩ කරන්න කිසි කෙනෙක් නැහැ. ඒ නිසා මම රැකියාවක් කළත් කාර්යබහුල වුණත් ගෙදරදොරේ වැඩ කරන්න වෙන්නේ මට. මට රසට උයන්න පුළුවන්. මම උයන්න පුරුදු වුණේ අද ඊයේ ‍නෙවෙයි. ඉස්සර ඉඳලාම උයනවා. ගෙදර හැම වැඩකටම මට වෙනුර හුඟක් උදව් කරනවා. ඒ නිසා ගෙදර වැඩවල අමාරුවක් දැනිලා නැහැ.

ඔහුට ඔබව මුණ ගැහෙන්නේ නිළිකම නිසාද?
නිළියක් හැටියට වෙනුර වගේම එයාගේ අම්මා, තාත්තා, මල්ලී මාව දන්නවා. මගේ ටෙලි නාට්‍ය බලලා තියෙනවා. ඒත් අපි ආදරවන්තයන් විදිහට ‍නෙවෙයි මුණ ගැහුණේ. අපි විවාහ වුණේ යෝජිත විවාහයකින්. මම හිතන්නේ නැහැ මගේ නිළිකම විවාහයට හේතුවක් වුණා කියලා.

විවාහයෙන් පසුව රඟපාන්න එපා කියලා වෙනුර වගේම ඔහුගේ දෙමාපියන් තහනම් තහංචි දාන්නේ නැද්ද?
වෙනුර වගේම එයාගේ දෙමව්පියන් මම ගැන, මගේ කලා කටයුතු ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. මම රඟපාන්න අදිමදි කළත් වෙනුර කියනවා හොඳ නිර්මාණයක් නම් සම්බන්ධ වෙන්න කියලා. වෙනුරගේ අම්මා වගේම තාත්තා හුඟක් හොඳ මිනිස්සු. කලාවට ආදරෙයි. මම ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා. ඒ අයට ඒක ආඩම්බරයක්. වෙනුරට මාව යෝජනා වෙනකොට එයාගේ මල්ලී තමයි කියලා තියෙන්නේ ‘එයා හොඳයි, ‍පොඩ්ඩක් යෝජනාව ගැන හිතන්න’ කියලා. මගේ පවුල තරමටම ඒ පවුලත් මට ආදරෙයි. මගේ කලා කටයුතුවලට උදව් කරනවා.ඒ නිසා මම හිතන්නේ නැහැ මගේ රඟපෑම එයාලට මදිපුංචිකමක් කියලා. ඒ වගේම කිසිම තහනමක් නැහැ මගේ රංගන වැඩවලට.

සමාජය ගැන දැනුම් තේරුම් තියෙන කා‍ලේ ඉඳලා යුවතියක් හීන දකිනවා තමන්ගේ අනාගත සැමියා කොයි වගේ ස්වරූපයක් ගන්න ඕනෑද කියලා. ඔබටත් ඒ වගේ හීනයක් තිබුණාද?
මම හැම වෙලාවේම හිතුවේ මම ආදරය කරන කෙනා මගේ අයියා වගේ වෙන්න ඕන කියලයි. මගේ අයියා හරිම විනෝදයෙන් සතුටින් ජීවත්වෙන කෙනෙක්. කලාවට ලැදි, මාව අගය කරන කෙනෙක් ගැන හිතුවා. ඒ වගේම උගත් බුද්ධිමත් කෙනෙක්. ඒ හැමදේම වෙනුර ළඟ තියෙනවා. බාහිර ස්වරූපය වුණත් මම හිතාගෙන හිටියේ වෙනුරගේ ස්වරූපය. හිතපු කෙනා ඒ විදිහටම ලැබුණා.

ප්‍රතිභා දැන් රැකියාවක් කරනවා නේද?
මම මූල්‍ය ගණිතය විෂයෙන් මාස්ටර් ඩිග්රිය කරලා ඉවර කළා. දැන් රැකියාවක් කරනවා. මම වැඩ කරන ආයතනය තියෙන්නේ කටුබැද්දේ. මගේ රංගනයට අවශ්‍ය පසුබිම ආයතනයෙන් හදලා දෙනවා. ඒක ඇත්තටම මට පහසුවක්. කාර්යබහුලයි වගේම හරිම ආතතියක් තියෙන රැකියාවක්. ඒත් මම රැකියාව සතුටින් කරගෙන යනවා.

රැකියාවත්, ගෘහයේ කාර්යබහුලකමත් එක්ක ප්‍රතිභා රංගනයෙන් ඉවත් වෙන්න බලා‍පොරොත්තුවක් තියෙනවාද?
කාලය කළමනාකරණය කරගෙන හැම දෙයක්ම සමබරව කරන්න උත්සාහ ගන්නවා. රංගනයෙන් ඉදිරි කාලයේදී ඉවත් වෙයිද කියන්න බැහැ. දැනට නම් එහෙම අදහසක් නැහැ. නමුත් පසුගිය කාලයට වඩා පුංචි තිරයේ මාව දකින වාරය අඩුවෙයි.

ප්‍රතිභා රංගනයෙන් දායක වුණු අලුත් නිර්මාණ මොනවාද?
රූගත කළ නිර්මාණ හුඟක් තියෙනවා. දිය බින්දුවක්, විෂ්ණු සංක්‍රාන්තිය, වස්සාන සමය වගේ නිර්මාණ. ඒවා ඉදිරියේදී විකාශය වේවි.

පුංචි පවුල රත්තරන් කියනවනේ. ප්‍රතිභාගේ පුංචි පවුල සම්පූර්ණ වෙන්නේ කවදාද?
වෙනුර පුංචි ළමයින්ට හුඟක් ආදරෙයි. අපිටත් දරුවෙක් ලැබෙනවාට එයා වගේම මමත් කැමැත්තෙන් ඉන්නවා. ඒත් එයා කවදා එයිද දන්නේ නැහැ. එයා එන දවසට එයි. එදාට සතුටින් එයාව භාරගන්නවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප-වෙනුර චන්ද්‍රමාලිත
http://www.rivira.lk/online/images/2014/10/12/pp1.jpg
http://www.rivira.lk/online/images/2014/10/12/pp2.jpg
http://www.rivira.lk/online/images/2014/10/12/pp5.jpg

(rivira.lk)
http://www.rivira.lk/online/images/2014/10/12/pp4.jpg

0 comments:

Post a Comment